ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන්න - ජනපති යුරෝපා සංගමයෙන් ඉල්ලයි

by Staff writer 06-01-2020 | 9:13 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව ලෙස ධනාත්මකව බලන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් හමු වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ අදහස් පළ කළ බවයි. ජනාධිපතිවරයා අද පෙරවරුවේ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් හමූවූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මෙහිදී තානාපතිවරුන් ජනාධිපතිවරයාට හා නව රජයට සිය සුබ පැතුම් පිරිනැමූ බවත් ජනාධිපතිවරණ ව්‍යාපාරය පිළිබඳව සිය සතුට පළ කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ලංකාව දෙස ධනාත්මකව බලන ලෙස ජනාධිපතිවරයා යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටි බවයි. ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා කුඩා රටවලට ලොව අනෙකුත් රටවලට සමාන වේගයකින් සංවර්ධනවීමට උපකාර කිරීම කලාපීය බලාධිකාරීත්වයට මුහුණ දීමේ ප්‍රශස්ථම පියවර බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ. සංවර්ධනය හා බලය බෙදීම පිළිබඳව යුරෝපා සංගම් තානාපතිවරුන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් අදහස් විමසා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, දේශපාලන විසඳුම් සංවර්ධන ක්‍රියාපිලිවෙත සමග සමගාමීව ඉදිරියට යායුතු බවයි. 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත ඇතැම් විධි විධාන ප්‍රායෝගික නොවන බවත් ඒ වෙනුවට දේශපාලඥයින් විකල්ප සෙවිය යුතු බවත් ජනාධිපතියා මෙහිදී පෙන්වා දී ඇත. පොලිස් ස්ථානාධිපති දක්වා ධූරයන්ට පළාත් සභාවලට අයත් එම දිස්ත්‍රික්කවල නිලධාරින් පත්කිරීම වඩාත් ප්‍රායෝගික බවත් ඉන් භාෂාමය හා සංස්කෘතිමය ගැටලු විසඳා ගැනීමට මගපාදනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.