පාඨලීගේ රියැදුරු ශරීර ඇප 2ක් මත මුදා හැරේ

පාඨලීගේ රියැදුරු තුසිත, ශරීර ඇප 2ක් මත මුදා හැරේ

by Staff writer 06-01-2020 | 11:28 AM

COLOMBO ( News 1st ) - හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු ලෙස කටයුතු කළ තුසිත දිලුම් කුමාර නැමැත්තාව නීතිපතිවරයාගේ විරෝධතාව නොතකා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරන්ජනී සිල්වා මහත්මිය අද නියෝග කළා ය.

රුපියල් 250,000 බැගින් වූ ශරීර ඇප 2ක් මත එම සැකකරුව මුදාහැරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඇප ලබා ගැනීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරිදා දින පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට වාර්තා කරන ලෙසට ද කොන්දේසියක් පනවනු ලැබුවා ය. මොහු 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් සිදුකර තොරතුරු වසන් කිරීම, රියැදුරු මාරු කිරීම ඇතුළු චෝදනා යටතේ, පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ දෙවැනි සැකකරුයි. ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බවත් සාක්ෂිකරුවන් විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කිරීමට නියමිත බැවින් සැකකරු ඇප මත මුදා හැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධා විය හැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය. එමෙන්ම විමර්ශන නිලධාරීන් මඟහැර සැඟවී සිටි එම සැකකරුව පෙර නඩු දිනයේදී නීතිඥවරුන් දෙදෙනෙකු විසින් අධිකරණයේ විත්ති කූඩුවට නංවා ඇති බවත්, එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එක්තරා බලවත් පුද්ගලයෙකු හා නීතිඥවරු කණ්ඩායමක් එම සැකකරුට සැඟ වී සිටීමට ආධාර අනුබල දී ඇති බව කියා සිටියා. නඩුව ලබන පෙරවාරි 24 යළි කැඳවීමට නියමිත ය.