උඩවලවේ කොටියා ඝාතනයට සැකපිට 03 දෙනෙකු කොටු

උඩවලව වනෝද්‍යානයේදී කොටියෙකු ඝාතනය: 03 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 06-01-2020 | 9:50 AM

COLOMBO ( News 1st ) - උඩවලව වනෝද්‍යානයේ කොටියෙකු ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 3දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ සෙවණගල, නෙළුම්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පමණ පුද්ගලයින් 3 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යංශය පවසයි. උඩවලව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි මව්ආර ජලාශය අසළ තිබියදී පසුගියදා ඝාතනයට ලක්වූ කොටියෙකුගේ සිරුරක් පසුගියදා සොයා ගැනුණි.‍ මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය වනජීවි නිලධාරීන් සමග එක්ව උඩවලව වනෝද්‍යානය තුළ ආරම්භ කළ පුළුල් සෝදිසි මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වේ. යටියන්තොට, පේරගස්හන්දිය, පිල්ලහේන ප්‍රදේශයේදී ද ඝාතනයට ලක්ව තිබූ කොටියෙකුගේ සිරුරක් සොයා ගැනුණි. වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යං විමලවීර දිසානායක මහතා පැවසුවේ, මෙම ඝාතන කිසියම් සංවිධානාත්මක කල්ලියක් විසින් සිදුකරන්නේද යන්න පිළිබඳව විශේෂ අවධානයට ලක්ව ඇති බවයි.