ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද 20 යි 20 තරග බිමට

වසර 12 ක ඉතිහාසය අලුත් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද තරග බිමට

by Staff writer 05-01-2020 | 8:17 AM

News 1st - තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා - ඉන්දියා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ.

දෙරට අතර පළමු තරගය අද රාත්‍රී 7.00 ට ඉන්දියාවේ, ගුවහාටිහී බාස්පාරා ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි. මෙම ක්‍රීඩාංගණයේදී මීට පෙර පවත්වා ඇත්තේ, 20 යි 20 තරගයක් වන අතර එම තරගයෙන් ඉන්දියාව පරාජය කරමින් ඔස්ට්‍රේලියාව කඩුලු 8 ක පහසු ජයක් හිමිකර ගත්තේ ය. ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා ලංකා කණ්ඩායම අතර මේ දක්වා ජාත්‍යන්තර 20 යි 20 තරග 16 ක් පවත්වා ඇති අතර ඉන් තරග 11 ක ජය ඉන්දීය කණ්ඩායමට හිමිකර ගන්නා විට ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරග ගණන 5 කි. ඉන්දියාවේදී 20 යි 20 තරග 8 කට සහභාගී වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් ජයගෙන ඇත්තේ තරග 2 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට ඉන්දියාවට එරෙහිව ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් ජය ගෙන ඇත්තේ 2008 වසරේ ජූලි මාසයේදීයි. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලියට එක්වන්නේ වසර 12 ක ආසන්න කාලයකට පසු ඉන්දියාවට එරෙහිව ද්විපාර්ශ්වික තරගාවලියක් ජය ගැනී‍මේ අරමුණින් වේ. ශ්‍රී ලංකාව මෙතෙක් ඉන්දියාවට එරෙහිව කිසිදු 20 යි 20 තරගාවලියක් ජය ගෙන නොතිබීම ද විශේෂත්වයකි. මෙම තරගයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් මාස 18 කට පසුව 20යි 20 ජාත්‍යන්තර තරගයක් සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත වේ. තව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පළමු 20 යි 20 තරගය සඳහා කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා නොකරන බවයි. මේ අතර අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ ප්‍රවණතාවක් පවතින බව අන්තර්ජාතික කාලගුණ තොරතුරු වාර්තා කරයි. මේ අතර අද තරගය පැවැත්වෙන ගුවහාටිහී බාස්පාරා ක්‍රීඩාංගණයට කාඩ්බෝඩ්, මාර්කපෙන් ආදී ද්‍රව්‍ය රැගෙන ඒම තහනම් කිරීමට ක්‍රීඩාංගණ බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ, 2017 වසරේ මෙම ක්‍රීඩාංගණයේ ඔස්ට්‍රේලියාව සමග පැවැති 20 යි 20 තරගයෙදී ප්‍රේක්ෂකයින් විසින් ක්‍රීඩාංගණයට විවිධ දෑ විසිකිරීම හේතුවෙනි.