වැලි,පස් කැපීමෙන් සිදුවන හානි විමර්ශනයට යුද හමුදාව

වැලි හා පස් කැපීමෙන් සිදුවන හානි විමර්ශනය යුද හමුදාව යටතට

by Chathuranga Rajapaksha 03-01-2020 | 6:37 PM

COLOMBO (News 1st): බලපත්‍ර රහිතව වැලි, පස් ප්‍රවාහනයේදී ලැබෙන පැමිණිලි, විමර්ශනය කිරීම සඳහා යුද හමුදාවට භාර දීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය. බලපත්‍ර රහිතව වැලි, පස් ප්‍රවාහනයේදී එය යම් පමණකට අවභාවිතවන බවට ජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි හේතුවෙන් මෙම තීරණයට එළැඹි බව අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා කියා සිටියේ අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ පරිසර අමාත්‍යතුමා විසින් බව ය. එම යෝජනාවට අනුව වැලි, පස් කැණීමේදී අනවශ්‍ය ලෙස ගං ඉවුරු ඛාදනය වීම ඇතුළු පැමිණිලි ද විමර්ශනය කරනු ලබන්නේ යුද හමුදාව විසිනි. මේ අතර දේශපාලන පලිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින්ට සහන සැලසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවණය වූයේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශ්‍රාමික ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ය. මේ අතර යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමටද කැබිනට් අනුමැතිය හිමිවිය.