ලෝක දේශපාලනය අර්බුදයක

ඉරාකයට එල්ල වූ ගුවන් ප්‍රහාරයත් සමග ලෝක දේශපාලනය අර්බුදයක

by Staff writer 03-01-2020 | 9:11 PM

News 1st - ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට ඇමරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉරාන යුද හමුදා විශේෂ බලකායේ ප්‍රධානියා මියයාමත් සමග ලෝක දේශපාලනය අර්බුදයකට ලක්වෙමින් පවතී.

ඉරාන ජනාධිපති හසන් රොහානි අනතුරු අඟවන්නේ ඉරානය සහ කලාපයේ අනෙකුත් නිදහස් ජාතීන් මේ බිහිසුණු අපරාධයට පළිගනු ඇති බවයි. ඉරාන විශේෂ බලකාය වන කර්ඩිෂ් බලකායේ ප්‍රධාන ජෙනරල් කසිම් සොලෙයිමානි තවත් හමුදා නිලධාරීන් පිරිසක් සමග ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන්තොටුපොළ තුළ මොටර් රථ 2කින් ගමන් කරමින් සිටියදී ප්‍රහාරයකට ලක්වුණි. විදෙස් වාර්තා සඳහන් කළේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව අමෙරිකානු හමුදා එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් හමුදා ප්‍රධානියා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස ඝාතනය කර ඇති බවයි. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ෆ්ලොරිඩාහි රැදී ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ ප්‍රවෘත්තිය සැළ වූ වහාම සිය ට්විටර් ගිණුමේ අමෙරිකානු ධජය ප්‍රසිද්ධ කළේ ය. පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ඔහු කියා සිටියේ ඉරාක වැසියන් මාර්ගවල නිදහස උදෙසා අරගල කරද්දී ජෙනරල් සොලෙයිමානි තවදුරටත් ජීවතුන් අතර නොමැතිවීම ගැන ස්තුතිවන්ත වන බවයි. මේ වනවිට ඉරාකයේ අමෙරිකානු විරෝධී උද්ඝෝෂණ ක්‍රියාත්මක වන අතර ඇතැම් ස්ථානවල අමෙරිකානුවන් ඉලක්ක කරගෙන ප්‍රහාර ද එල්ල වේ. අමෙරිකාව චෝදනා කරන්නේ ඉරානයේ සහය ලබන සන්නද්ධ කණ්ඩායම් මේ පිටුපස සිටින බවයි. ජෙනරල් සොලෙයිමානි ඉතා ක්‍රියාකාරී ලෙස ඉරාකයේ අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින්ට හා නියෝජිතයින්ට එරෙහිව ප්‍රහාර සැළසුම් කළ බව පෙන්ටගනය නිවේදනය කළේ ය. කෙසේ වෙතත් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් ජවාඩි සාරිෆ් පවසන්නේ මෙය ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි. අමෙරිකාවට හා ඊශ්‍රායලයට මෙයට ප්‍රතිචරයක් ලෙස ඉතා දරුණු ප්‍රතිචාරවලට මුහුණදීමට සිදුවනු ඇතැයි ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකයා අනතුරු අඟවයි. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකානු ජනාධිපතිවරයා සුබ පතන්නේ අමෙරිකාව සිදුකළ ක්‍රියාවද නිවැරදි බව පවසමින් ය. මේ අතර හමුදා ප්‍රධානියාගේ ඝාතනය නොසැළකිමත් ක්‍රියාවක් බව පවසන රුසියාව කලාපය කැළඹීමට මෙය හේතුවක් වනු ඇතැයි අනතුරු අඟවයි. අද පස්වරුව වනවිට ටෙහෙරාන් අගනුවර ස්ථාන රැසක රැස්වූ ඉරාන වැසියන් අමෙරිකාව හෙලා දකිමින් උද්ඝෝෂණ ආරම්භ කළේ ය. මේ වනවිට වහාම ඉරාකයේ බැග්ඩෑඩ් නගරයෙන් ඉවත්වන්නැයි අමෙරිකාව සිය රට වැසියන්ට දැනුම් දී තිබේ. මෙම අර්බුදයත් සමග අද ලෝක වෙළෙඳෙපොළේ බොරතෙල් මිල ඉහළ ගියේ ය. ලන්ඩන් බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් 2.9 %කින් ඉහළ ගිය අතර අමෙරිකානු වෙළෙදපොළේ තෙල් මිල ඉහළ ගිය ප්‍රතිශතය 2.8 % කි.