8 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය අද පෙරවරුවේ

අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය අද පෙරවරුවේ ඇරඹේ

by Staff writer 03-01-2020 | 6:07 AM
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය අද පෙරවරු 10 ට ආරම්භ වේ. ජනාධිපතිවරයා සතු බලතල අනුව පසුගිය දෙසැම්බර් මස 02 වෙනිදා පාර්ලිමේන්තුව වාර අවසාන කෙරුණේ අති විශේෂ ගැසට් පත්‍රයකිනි. ජනාධිපතිවරයා වෙනුවෙන් සුදානම් කර තිබූ සම්මාන ආචාර වෙඩිමුර 21 ක සහ මග දෙපස සිදුකරන හමුදා ආචාරමය චාරිත්‍ර විධිවිධාන , ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි සිදු නොකරන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා කරන කථාවෙන් පසුව රැස්වීම තාවකාලිකව අත්හිටුවන බව ද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසී ය. ඉන් අනතුරුව යළිත් පාර්ලිමේන්තුව පස්වරු එකට රැස්වීමට නියමිතයි. 1947 වර්ෂයේ සිට 50 කට අධික වාර සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇති අතර 1978 න් පසුව පමණක් සැසිවාර 25 ක් පවත්වා තිබේ. 1978 නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙන් පසුව එතෙක් පැවති රාජාසන කථාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය ආරම්භ විය.