by Staff writer 02-01-2020 | 6:08 PM
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය හෙට ආරම්භ වේ.
ජනාධිපතිවරයා සතු බලතල අනුව පසුගිය දෙසැම්බර් මස 2 වන දා පාර්ලිමේන්තුව වාර අවසාන කෙරුණේ අතිවිශේෂ ගැසට් පත්‍රයකිනි.
ඒ අනුව නව පාර්ලිමේන්තු සභාවාරය හෙට උදෑසන 9 ට ආරම්භ වේ.
ජනාධිපතිවරයා වෙනුවෙන් සුදානම්කර තිබූ සම්මාන ආචාර වෙඩිමුර 21 ක සහ මග දෙපස සිදුකරන හමුදා ආචාරමය චාරිත්‍ර විධිවිධාන ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි සිදු නොකරන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.
පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව හෙට උදෑසන 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිතයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සලසා ඇති විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම එහිදී සිදුකෙරයි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා කරන කථාවෙන් පසුව රැස්වීම තාවකාලිකව අත්හිටුවනු ඇති.
1947 වර්ෂයේ සිට 50 වරකට අධික ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වාර අවසානකර ඇති අතර 1978 න් පසුව පමණක් සැසිවාර 25 ක් පවත්වා තිබේ.
1978 නව ව්‍යවස්ථාව ක්‍රියාත්මකවීමෙන් පසුව එතෙක් පැවති රාජාසන කථාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය ආරම්භවිය.
මේ අතර ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර සභාව කල් තැබීමෙන් පසුව පස්වරු 1 ට පාර්ලිමේන්තුව යලි රැස්වීමට නියමිතයි.
එහිදී නව විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සිදුකරන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.
සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ විපක්ෂයේ සංවිධායක ඇතුළු තනතුරු ද හෙට පත්කරනු ඇති.
රංජිත් සොයිසා මහතාගෙන් අභාවයෙන් හිස්වූ අසුන වෙනුවෙන් වරුණ ලියනගේ මහතා හෙට දිවුරුම් දීමට නියමිතයි.