සන්ධානයේ සහ එජාප මන්ත්‍රීහු අද රැස්වෙති

සන්ධානයේ සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් අද රැස්වෙයි

by Staff writer 02-01-2020 | 7:45 AM

COLOMBO (News 1st) - එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරු 11.00 ට රැස්වීමට නියමිතය.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි. එහිදී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභානායක ධුර පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද අද පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, පස්වරු 3.00 ට ආරම්භ වන රැස්වීමට සියලු මන්ත්‍රීවරුන් කැඳවා ඇති බවයි. එම සාකච්ඡාව පැවැත්වෙන්නේ පක්ෂයේ ඉදිරි කටයුතු සහ හෙට රැස්වන පාර්ලිමේන්තුවේදී ගනු ලබන තීරණ පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණිනි. මේ අතර හෙට දහවල් 12.30 ට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වේ. පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු නව සැසිවාරයේදී රාජ්‍ය ගිණුම් කාරක සභාව, මුදල් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා සාමාජිකයන් පත් කිරීම පිළිබඳව එහිදී අවධානය යොමු කරන බවයි.