රාත්‍රියේ කොළඹ දූවිලි අංශු ඉහළ යාමේ වෙනසක්?

රාත්‍රී කාලයේ කොළඹ වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ යෑම ඉදිරි පැය 72 තුළ සාමාන්‍ය අගයට

by Staff writer 02-01-2020 | 4:28 PM

COLOMBO (News 1st): මේ දිනවල රාත්‍රී කාලයේ කොළඹ නගරයේ වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමේ තත්ත්වය, ඉදිරි පැය 72ක කාලය තුළ සාමාන්‍ය අගයක් දක්වා පහළ යනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ පසුගිය 25 දා සිට ඊයේ දිනය දක්වා එලෙස වායු ගෝලීය දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යාම වාර්තා වූ බව ය. රාත්‍රී කාලයේ දී පොළොව සිසිල් වීමත් සමග, පොළොවට සමීප වායුගෝලයට වායු දූෂක මුසුවීම හේතුවෙන් රාත්‍රී කාලයේ දී වායූ ගෝලීය දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යන බව සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය. ඔහු සඳහන් කළේ, පසුගිය දිනවල දිවයින තුළ පැවැති උෂ්ණ කාලගුණය ද මෙලෙස රාත්‍රී කාලයේදී කොළඹ නගරයේ වායුගෝලය දූවිලි අංශු ප්‍රමාණය ප්‍රමාණය ඉහළ යාමට බලපෑ බව ය. මේ අතර නව අවුරුදු උදාව සමග ගිනිකෙළි භාවිතය වැඩිවීම නිසා, දෙසැම්බර් 31 සහ ජනවාරි 01 වැනිදා යන දෙදින තුළ කොළඹ නගරය ආශ්‍රිතව වායුගෝලීය දූෂණය තවදුරටත් වැඩි වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජනතාවට දැනුම් දුන්නේය. ගිනිකෙළි භාවිතයත් සමග ඉහළ ගිය වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයේ අගය ඊයේ දිනයේ දී දැක්වූණේ, ඒකක 170ක් ලෙසිනි. කෙසේ වුවත් ඉදිරි පැය 72 කාලය ඇතුළත මෙම වායු දූෂිත තත්ත්වය පහව යනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මේ අතර පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මාස වායු දූෂණය පිළිබඳ ජනතාවගේ වැඩි අවධානයක් යොමු වූයේ, ඉන්දියාවේ, නවදිල්ලි නුවර වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යෑමත් සමගිනි. එහෙත් පසුගිය වසර තුළ වායුගෝලීය දූවිලි අංශු ප්‍රමාණය සාපේක්ෂව ගත් කළ ඒකක 70ත් 82ත් අතර සාමාන්‍ය අගයක් ගන්නා බව ද ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.