ජනපති සහ අගමැතිගෙන් 2020ට සුබ පැතුම්!

ලොවපුරා වැසියන් 2020 හරසරින් පිළිගනී

by Staff writer 01-01-2020 | 6:47 AM

COLOMBO (News 1st) - ලොපුරා මෙන්ම මෙරට වැසියන් ද නව වසරේ උදාව සමරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ විවිධ උත්සව සංවිධානය කර තිබුණි.

ඒ, අතුරින් ගාලු මුවදොර ඇතුළු පොදු ස්ථාන රැසක ඒ සඳහා උත්සව සංවිධාන කර තිබූ බව අප වාර්තාකරුවන් පැවසීය. කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේදී විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වුනේ ඊයේ මධ්‍යම රාත්‍රියේයි. මේ අතර 2020 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, ජනතා අපේක්ෂාවන්ට අකුල් හෙළන කුමන හෝ බලවේගයකට රට තුළ ඉඩක් නොතබන බවයි. නව වසර උදාව සමග ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනගන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ පහසු කරනු ඇති බව තමන් දැඩි ලෙස අධිෂ්ඨාන කරන බව ජනාධිපතිතුමා පැවසීය. අදින් ආරම්භ වන 21 වැනි සියවසේ තුන්වැනි දශකය ශ්‍රී ලංකාවේ දශකය ලෙස පත් කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කළේ ය. නව වසර සියලු ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තු ඉටුවන යුගයක් වේවායි අග්‍රාමාත්‍යවරයා සිය පණිවුඩයෙන් ප්‍රාර්ථනා කරයි.