ඉන්දියාවට එරෙහි 20/20 ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ඉන්දියාවට එරෙහි 20/20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

by Staff writer 01-01-2020 | 6:31 PM

COLOMBO ( News 1st ) - ඉන්දීය කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කළේ ය.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයෝ 16 දෙනෙක් ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා 20/20 ක්‍රිකට් කණ්ඩායමට මාස 18කට පසුව ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ව කැඳවා තිබේ. ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 2ක් පමණක් සිදුකර තිබීම විශේෂත්වයකි. පසුගිය සතියේ පැවති පුහුණු සැසියක දී වළලුකර ආබාධයකට ලක් වූ වේගපන්දු ‍යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට මෙම තරගාවලිය අහිමිව ඇති අතර ඔහු වෙනුවට කැඳවා ඇත්තේ කසුන් රාජිතයි. පාකිස්තාන තරග සංචාරයේ දී කැපී පෙනෙන දස්කම් දැක් වූ ශෙහාන් ජයසූරිය මෙම තරගාවලිය සඳහා එක්කර නොමැති අතර ඔහු වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට එක්කර තිබේ. ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය සඳහා ලසිත් මාලිංග, ඉසුරු උදාන, ලහිරු කුමාර හා කසුන් රාජිත එක්ව ඇති අතර වනිඳු හසරංග හා ලක්ශාන් සඳකැන් දඟපන්දු ‍යවන්නෝ ලෙස කණ්ඩායමට එක්ව සිටිති. තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස ධනංජය ද සිල්වා හා දනුෂ්ක ගුණතිලක කටයුතු කරන අතර දසුන් ශානක හා ඇන්ජලෝ මැතිව්ස් මද වේගපන්දු ‍යවන්නන් ලෙස කණ්ඩායමට එක්ව සිටීම විශේෂත්වයකි. අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ඕශධ ප්‍රනාන්දු, නිරෝශන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, පිතිකරුවෝ ලෙස සංචිතයට ඇතුළත් වෙති.