රූමි මොහොමඩ් රිමාන්ඩ්

සුදු වෑන් මාධ්‍ය හමුව: ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් රිමාන්ඩ්

by Staff writer 31-12-2019 | 6:04 PM

COLOMBO ( News 1st ) - විවාදාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ලබන 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට එක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනාට රූමි මොහොමඩ් මහතා විසින් රුපියල් ලක්ෂ 10 බැගින් මුදල් ලබාදුන් බවට චෝදනා එල්ල වේ. ඒ, අනුව ඔහු අත්අඩංගුවට ගෙන එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දී තිබුණි. ඊයේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා දැනුම් දුන්නේ, රූමි මොහොමඩ් මහතා සොයාගත නොහැකි බවයි. නමුත් අද උදෑසන රූමි මොහොමඩ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වුණි. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන සැකකරු අද සවස 3.30ට පමණ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කළේ ය. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පෙන්වා දුන්නේ, මාධ්‍ය හමුවට පැමිණි දෙදෙනාට සැකකරු මුදල් ලබා දී ඇත්තේ රජයේ වගකිව යුතු ආයතනයක ප්‍රධාන නිලයක් ද දරමින් බවයි. ඔහුගෙන් තවමත් ප්‍රකාශයක් සටහන් කරගැනීම පමණක් සිදු කර ඇති අතර බැංකු වාර්තා ලබා ගැනීම ඇතුළු දීර්ඝ විමර්ශනයක් සිදු කළ යුතු බැවින් ඇප ලබා නොදෙන ලෙස පීරිස් මහතා අතිරේක මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේ ය. කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය රූමි මොහොමඩ් මහතා ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා ය.