සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍රයේ නවතම නිර්දේශය

සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍රයට ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් - ජනපති

by Staff writer 31-12-2019 | 7:17 PM

COLOMBO ( News 1st ) - සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍රය සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා ඒ බව සඳහන් කළේ, මගී ප්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය. ඇස් පරීක්ෂාව ද රෝහල් මට්ටමින් ලබාදීම පිළිබඳ සොයා බැලීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. පුර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියැදුරු බලපත්‍ර සඳහා සීමා කරන්නැයි, ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන් අතර මතුව ඇති ගැටලු ඉතා කෙටි කාලයකදී නිරාකරණය කරමින් ජනතාවට ප්‍රශස්ත සේවාවක් ලබාදීමට කැපවන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය. මෙම සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, දෛනික ජන ජීවිතයට වැදගත් වන රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බලා නීතියේ රැහැනට හසුකර ගැනීමට තමන් බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවයි. රාජ්‍ය සේවකයෙකු දූෂණ හා වංචාවන්ට සම්බන්ධ වුවහොත් තරාතිරම නොබලා දඬුවම් දෙන බවද එහිදී ජනාධිපතිතුමා පැවසුවේ ය. යළි ඔහුට කිසිදිනක රාජ්‍ය සේවයේ අවස්ථාවක් නොදෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ ය. අල්ලස් ගන්නන් සේම, අල්ලස් දෙන්නන්ද නීතියේ රැහැනට හසුකර ගැනීමට අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිතුමා රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධූර කාලයේදී අවසන් වියයුතු බව ද පැවසුවේ ය. දෛනික ජන ජීවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත්විය යුතු බව ද ජනාධිපතිතුමා එම සාකච්ඡාවේදී අවධාරණය කළේ ය. මහජන සේවා කාර්යක්ෂමව ඉටු කිරීමේදී දත්ත ජාලගත කිරීම, නව තාක්ෂණික ක්‍රමෝපාය අනුගමනය කිරීම මෙන්ම සියලු ආයතන මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම අවශ්‍යතාව ද එම සාකච්ඡාවේදී අවධානයට ලක් විය.