by Staff writer 31-12-2019 | 9:54 PM
News 1st - ඉරාකයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට එරට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඒ, පසුගිය ඉරිදා ඉරානයේ සහය ලබන ඉරාක සන්නද්ධ කණ්ඩායමකට එල්ල වූ අමෙරිකානු ගුවන් ප්‍රහාරයට විරෝධය පළකරමින් ය.
අමෙරිකානු ධජ ගිනි තබමින් විරෝධතාවයේ නිරත පිරිස් ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයේ තාප්පද ගිනි තබා තිබේ.
ඉරාක විදේශ කටයුතු අමාත්‍යංශය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, පවතින කළහාකාරී වාතාවරණය තුළ ඉරාකයේ අමෙරිකානු තානාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිතව ඉවත් කළ බවයි.
ඉරානයේ සහය ලබන ඉරාක සන්නද්ධ කණ්ඩායමක් ඉලක්ක කර එල්ල වූ අමෙරිකානු ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගියේ ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට විරෝධය පළකරමින් විරෝධතාකරුවන් ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලය අසලට රැස්වූ පසු කළහාකාරී වාතාරණය උග්‍ර වූ බවයි.
මේ අතර පසුගිය සිකුරාදා අදාළ සන්නද්ධ කණ්ඩායම එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අමෙරිකානු සිවිල් කොන්ත්‍රාත්කරුවකු මියගොස් ඇති බවට අමෙරිකාව චෝදනා කළේ ය.
ඉරාක අග්‍රාමාත්‍ය ඇඩෙල් අබ්දුල් මහඩි කියා සිටියේ ගුවන් ප්‍රහාර මගින් තම රටේ ස්වෛරීභාවය උල්ලංඝණය වී ඇති බැවින් අමෙරිකාව සමග ඇති සබඳතා සමාලෝචනය කිරීමට එය බල කරන බවයි.