හිඟුරක්ගොඩ සතොස ගබඩාවේ තිබී කල් ඉකුත් වූ සහල් තොගයක් හමුවෙයි

by Staff writer 30-12-2019 | 8:03 PM

COLOMBO (News 1st) - පොළොන්නරුව, හිඟුරක්ගොඩ සතොස ගබඩා සංකීර්ණයක තිබී කල් ඉකුත් වූ සහල් කිලෝ තුන්ලක්ෂ පනස්දහසක් අද සොයා ගෙන තිබේ.

ඒ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය එහි සිදු කළ නිරීක්ෂණයක් අතරතුරයි. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් අද මෙම සතොස තොග ගබඩා සංකිර්ණය පරීක්ෂා කළේ ය. එම අවස්ථාව වනවිටත් සත්ත්ව ආහාර සඳහා සහල් තොග නිකුත් කරමින් පැවතුණි. තව ද සත්ත්ව ආහාර සඳහා නිර්දේශ කළ 2020 පෙබරවාරි මාසයේ කල් ඉකුත්වීමට නියමිතව තිබූ සහල් තොගයක් ද එම ගබඩාවේ තිබී හමුවුණි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සහල් මිල ගණන් පිළිබඳව සොයා බැලූහ.