භික්ෂූන් වහන්සේලා මැතිවරණයට ඉදිරිපත්වීම නුසුදුසුයි

භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකළ යුතුයි - අස්ගිරි ලේඛකාධිකාරී හිමියන්

by Staff writer 30-12-2019 | 7:37 PM

COLOMBO (News 1st) - භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකළ යුතු බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අද මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අවධාරණය කරයි.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි,
මේ රටේ පාර්ලිමේන්තු නියෝජනය සඳහා භික්ෂූන් වහන්සේලා යළිත් වරක් ඉදිරිපත්වීමේ ප්‍රවණතාවයක් ගොඩනැගෙමින් තිබෙන බව අපිට පේනවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි තේරුම්ගත යුතු දේ තමයි අපි සිංහල බෞද්ධ රජයක් හැටියට නායකත්වයක් අපි වර්තමානයේ පත් කරගෙන සිටිනවා. ඒ නිසා විශේෂයෙන් අපි අවධාරණය කර තිබෙන්නේ මේ අවස්ථාවේදී මේ රජය යටතේ භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට නියෝජනය සඳහා මැතිවරණයට ඉදිරිපත්වීම නුසුදුසු බවයි. මේ පිළිබඳව අපේ එක්සත් ජාතික පක්ෂයට සහ ඒ වගේම වර්තමාන රජය නියෝජනය කරන ඒ රාජ්‍ය නායකත්වයට අපි මේ වන විටත් දැණුවත් කර තිබෙනවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව තවදුරටත් දැණුවත් කිරීම් කරලා භික්ෂුවගේ පාර්ලිමේන්තු ප්‍රවේශය නුසුදුසුයි කියන එක මේ අවස්ථාවේදී අපි ඒ අයට දැණුවත් කිරීම් සිදු කිරීම සඳහා
මේ අතර මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවා හැංගුනවැවේ ධම්මරතන හිමියන් ද ඊයේ මේ පිළිබඳව අදහස් පළ කළේ ය. මිහින්තලය රාජමහා විහාරයේ විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි,
විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලනවා භික්ෂුන් වහන්සේලා ඡන්දේ ඉල්ලන්න එයි. දෙන්න එපා. ස්වාමීන් වහන්සේ කෙනෙක් සුනඛයා ලකුණින් ඉල්ලනවා. මේකද අපේ ලකුණ. ලකුණ තමයි ධර්මචක්‍රය. අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන් අනිකුත් පක්ෂවලින් කරුණාකරලා බුදු දහමට ගෞරව කරනවා නම් ආදරය කරනවා නම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට ගන්න එපා පැත්ත පලාතක.