රාජිත බන්ධනාගාර රෝහලට මාරු කිරීම තාවකාලිකව නවතයි

රාජිතගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 29-12-2019 | 5:26 PM

COLOMBO ( News 1st ) - රක්ෂිත බන්ධනාගාරගතව නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා ඔහු බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝහල වෙත රැගෙන ඒම සඳහා පිටත්ව ගිය විශේෂ නිලධාරී කණ්ඩායම යළි කැඳ වූ බවයි. හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවීම සඳහා කඩිනමින් පියවර ගන්නැයි ඔහු ප්‍රතිකාර ලබමින් සිටින පෞද්ගලික රෝහලට අද පෙරවරුවේ දැනුම් දුන්නා ය. ඒ, අනුව බන්ධනාගාර නිලධාරී කණ්ඩායම ගිලන් රථයක් ද රැගෙන අදාළ රෝහල වෙත පැමිණියේ අද පස්වරුවේ ය. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ඊයේ පෙරවරුවේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටින නාරාහේන්පිට පෞද්ගලික රෝහලට පැමිණියා ය. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මිය ඔහු ප්‍රතිකාර ලබන නාරාහේන්පිට පෞද්ගලික රෝහල වෙත පැමිණ පෙරේදා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.