මැණික් පතලක් තුළදී කම්කරුවෙකු මරුට

නිවිතිගල මැණික් පතලක් තුළදී කම්කරුවෙකු මරුට

by Staff writer 29-12-2019 | 6:51 PM

COLOMBO ( News 1st ) - නිවිතිගල, උඩකරවිට, 12 කණුව ප්‍රදේශයේ මැණික් පතලක් තුළදී කම්කරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය සැක පළ කරන්නේ, විෂ වායුවක් ආග්‍රහණය වී මරණය සිදුවන්නට ඇති බවයි. අද පස්වරු 3.30ට පමණ 12 කණුව ප්‍රදේශයේ මැණික් පතලක සේවය කරමින් සිටි මෙම කම්කරුවා පතල තුළට ගොස් තිබේ. කම්කරුවන් සඳහන් කළේ, පතල තුළදී යම් වායුවක් ආග්‍රහණය වී ඔහු සිහිසුන් වී ඇති බවයි. අනතුරුව තවත් කම්කරුවන් දෙදෙනෙකු ඔහු බේරා ගැනීමට පතල තුළට ගොස් තිබේ. එහිදී ඔවුන් දෙදෙනාටද විෂ වායුව ආග්‍රහණය වී ඇතැයි අනෙක් කම්කරුවන් සඳහන් කළේ ය. පසුව කම්කරුවන් එක්ව ඔවුන් තිදෙනා නිවිතිගල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, එහිදී එක් කම්කරුවෙකු මියගොස් ඇති බවයි. මියගොස් ඇත්තේ කරවිට, පින්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි දෙදරු පියෙකි. අනෙක් දෙදෙනා මේ වනවිට නිවිතිගල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.