නවසීලන්තයට එරෙහිව කැන්ගරුවන්ට විශිෂ්ට ජයක්

එක් තරගයක් ඉතිරිව තිබියදීම නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

by Staff writer 29-12-2019 | 2:01 PM

News 1st - නවසීලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව අද ලකුණු 247 කින් ජය ගෙන තිබේ.

මෙම තරගය මෙල්බර්න්හිදී පැවැත්විය. පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 467 යි. පළමු ඉනිමේදී නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 148 ක් රැස් කළේ ය. තරගය අද සිව් වැනි දිනයට ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 137 ක් රැස් කර ගෙන සිටියේ ය. ඔස්ට්‍රේලියාව කඩුලු 5 ක් දැවී ලකුණු 168 ක් රැස් කර ගෙන සිටියදී දෙවැනි ඉනිම අත්හිට විය. ඒ, අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 488ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 161 කදී බිඳ වැටුණි. ටොම් ලේතම් ලකුණු 8 කට දැවී ගිය අතර නායක කේන් විලියම්සන්ට ලකුණු රැස් කිරීමට හැකි වුණේ නැත. හෙන්රි නිකල්ස් ලකුණු 33 යි. හුදෙකලා සටනක නිරත වූ ටොම් බ්ලන්ඩල් අද ටෙස්ට් පිටියේ 2 වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 121 ක් රැස් කළේ ය. නවසීලන්තය ක්‍රීඩකයින්ට අද දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 240 ක් පමණි. ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.