මාර්ග අනතුරු ඉහළ යාමට බලපාන හේතු

මග අනතුරු ඉහළ යාමට හේතු රැසක් විගණකාධිපති වාර්තාවකින් හෙළිවෙයි

by Staff writer 28-12-2019 | 9:41 PM
COLOMBO (News 1st) : මාර්ග අනතුරු ඉහළ යාමට බලපාන හේතු රැසක් පිළිබඳව විගණකාධිපති වාර්තාවකින් හෙළිව තිබේ. එහි දැක්වෙන්නේ මෙම අනතුරුවලින් බොහොමයක් වළක්වාගත  හැකි ඒවා බවයි. මාර්ග ආරක්ෂාව සඳහා ක්‍රියා කිරීමේ දශකය ලෙස 2011 සිට 2020 දක්වා කාලය නම් කෙරුණේ 2010 මාර්තු මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදීයි. ශ්‍රී ලංකාව ද ඊට අත්සන් තැබූ අතර, මාර්ග අනතුරු අවම කිරීම සඳහා වර්ෂ දහයකට අදාළ ක්‍රියාකාරී සැලැස්මට අනුව වැඩපිළිවෙක් ද සකස් කෙරිණ. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 17 කින් සැදුම්ලත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පිහිටුවූයේ ඒ අනුවයි. එහි බලතල හා සම්පත් ධාරිතාව අනතුරු අවම කිරීමේ ක්‍රියාවලියට ප්‍රමාණවත් නොවන බව, අදාළ විගණකාධිපති වාර්තාවේ සඳහන් ය. පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන අංශයට අනුයුක්ත නිලධාරීන්ගෙන් 72%ක් රථ වාහන කළමනාකරණ පාඨමාලාවක් හදාරා නොමැති බව මෙහි දැක්වේ. මාරක අනතුරු පිළිබඳ දත්ත පද්ධතියක් රථවාහන පොලිසියෙන් පවත්වාගෙන ගියද ඊට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යංශය සහ රක්ෂණ ආයතන සම්බන්ධ වී නොමැත. සුරක්ෂිත මාර්ග නිර්මාණයේදී මාර්ග ආරක්ෂණ විගණන පැවැත්වීම වැදගත් වුවත් ඒ සම්බන්ධ පුහුණුව ලත් ඉංජිනේරුවන් දැනට මාර්ග සංවර්ධන අධිකාරියේ නොමැති බැවින් මාර්ග ආරක්ෂණ විගණන 2016 හා 17 වර්ෂවලදී පවත්වා නොමැති බව ද අනාවරණය වී තිබේ. ඉංජිනේරු දෝෂ හේතුවෙන් ඇතැම් මාරක අනතුරු සිදුවී ඇති බවත් එම දෝෂ ඉවත් කිරීමක් සිදුව නොමැති බවත්, අනාවරණය වී ඇති තවත් කරුණකි. අනතුරුවලින් සිදුවන බරපතළ තුවාලවලින් 23% ට ද මරණ සංඛ්‍යාවෙන් 31%කට පදිකයෝ ගොදුරු වෙති. පොලිස් කොට්ඨාස 16ක විවිධ ස්ථාන 46ක් තුළ පදිකයන්ට මාර්ග අනතුරුවලට මුහුණ දීමට සිදුව තිබූ බව නිරීක්ෂණය විය. පොලිස් කොට්ඨාස 15 ක විදුලි හා දුරකථන රැහැන් කණු මාර්ගයට බාධාවක් වන ලෙස පැවතීමෙන් නිසා මාර්ග අනතුරු 14 ක් සිදුව ඇති බව ද සඳහන් ය. පොලිස් කොට්ඨාස 18ක පදික මාරුවල සංඥා සලකුණු නිසි පරිදි යොදා නොමැති බවත්, මැකී තිබූ අවස්ථා 355 ක් පැවති බවත් අනතුරු 196ක් සිදුව ඇත්තේ මේ නිසා බවත් අනාවරණය වී තිබේ. පදික මාරු, බස්නැවතුම් මංසන්ධි ආසන්නව පිහිටා තිබීම නිසා සිදුව ඇති මාර්ග අනතුරු සංඛ්‍යාව 368 කි. පාසල් වෑන් රථවල ප්‍රමිතිය හා ධාවන තත්ත්වය පිළිබඳ පරීක්ෂාවන් ප්‍රමාණවත් නොවීම, ඒ ශ්‍රේණියේ මාර්ග ගණනාවක ප්‍රමාණවත් පරිදි ආලෝකය නොමැතිවීම, සහ ආරක්ෂිත දුම්රිය හරස් මාර්ග නොමැති වීම ද මාර්ග අනතුරුවලට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබේ. පොලිස් කොට්ඨාස 30ක රාත්‍රී කාලයේ විදුලි පහන් ක්‍රියා විරහිත වන අවස්ථා 475ක් නිසා මාර්ග අනතුරු 108ක් සිදු වූ බව ද සඳහන් ය. රියදුරු පාසල් ලියාපදිංචිය අලුත් නොකිරීම හා රිය ධාවනයේදී සිදුවන අඩුපාඩු හඳුනා ගැනීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපකරණ ප්‍රමාණවත් නොවීම ද තවත් හේතුවකි. පසුගිය වර්ෂවල සිදු වූ රිය අනතුරු දෙස බැලීමේදී මාර්ගයේ දෝෂ නිසාම සිදු වූ රිය අනතුරු විශාල ගණනක් වාර්තා වී තිබේ. ඒ ආකාරයෙන් හඳුනාගත් මාර්ග දෝෂ 1938 කට අදාළ අනතුරු සංඛ්‍යාව 1434 කි. පොලිස් කොට්ඨාස 23 ක රිය අනතුරු බහුලව සිදුවන ප්‍රදේශ 204 ක් 2014 හා 2015 වසරේදී හඳුනාගෙන මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කළ ද ඒවා නිවැරදි කර නොමැත. ධාවනයට නුසුදුසු වාහන පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ ද ඇත්තේ බරපතළ දෝෂසහගත බවකි. ඒ අනුව මාර්ග ආරක්ෂාව සඳහා සම්බන්ධ සියලු ආයතනවල කාර්යභාරය වන නිශ්චිතව හඳුනා ගැනීම ඒවා පැවරීම අධීක්ෂණය මගින් මාර්ග අනතුරු අවම කර ගත හැකි බවත් , රියදුරන්ගේ හා මගී ජනතාවගේ අවබෝධය හා දායකත්වය ද මාර්ග අනතුරු අවම කරගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවත් මෙම විගණකාධිපති වාර්තාව පෙන්වා දෙයි.