"රාජිත තවමත් අත්අඩංගුවට ගෙන නැහැ"

Update: "රාජිත තවම අත්අඩංගුවට ගෙන නැහැ"- නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

by Staff writer 27-12-2019 | 6:38 AM
Update (11.00 am): අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මේ දක්වා අත්අඩංගුවට ගෙන නැතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද අධිකරණයට දැනුම් දුන්නේ ය. වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්ව සිටී. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කියා සිටියේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශ ලබා ගැනීමට සුදුසු නොවන බවට දී ඇති වෛද්‍ය නිර්දේශය අනුව ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි. මේ වනවිට මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන රෝහල අවට පොලිස් ආරක්ෂාව තර කර ඇතැයි සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. මේ අතර රාජිත සේනාරත්න මහතා නැවතී සිටින පෞද්ගලික රෝහලට ඔහුගේ සුවදුක් විමසීමට දේශපාලනඥයින් කිහිප දෙනෙක් පැමිණියහ. මේ අතර සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සමග සහභාගි වූ පුද්ගලයින් දෙදෙනා ලබන මස 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. මෙහිදී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙසයි. කෙසේ වෙතත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඊට අවසර ලබා නොදුන්නේ ය. https://www.youtube.com/watch?v=NKnMupr9LT0 -----------------------------------------------------------------------------------------------------------------------------------------

හිටපු ඇමති රාජිත තවදුරටත් රෝහලේ : ප්‍රකාශයක් අපේක්ෂාවෙන් CIDයත් රෝහලට

COLOMBO (News 1st) : අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. රෝහලේ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කළේ, හිටපු අමාත්‍යවරයා රෝහලේ හෘද රෝග ඒකකයට ඊයේ රාත්‍රි ඇතුළත් වූ බවයි. මේ අතර රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඊයේ රාත්‍රි 8 .30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් එම රෝහලට පැමිණියහ. ඔවුන් අද අලුයම දක්වාම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එහි රැඳී සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තුවක් නිකුත් කළේ පසුගිය 24 වැනිදායි. ඒ, අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙරේදා දිනයේ ද කොළඹ හා බේරුවල පිහිටි සේනාරත්න මහතාගේ නිවාසවලට ගිය ද ඔහු එම නිවාසවල ඔහු නොසිටියේ ය. ඒ අතර, රාජිත සේනාරත්න මහතාගේ නීතිඥයින් ඊයේ උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙසයි. කෙසේවෙතත්, ඊයේ පස්වරුවේ එම නීතිඥවරුන් විසින්ම එය අධිකරණය හමුවේ නොකැඳවන ලෙස අධිකරණ රෙජිස්ටාර්වරියගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව එම මෝසම අධිකරණය හමුවේ නොකැඳවී ය. මේ අතර ප්‍රනගත මාධ්‍ය හමුවට රාජිත සේනාරත්න මහතා විසින් කැඳවා ගෙන ආ සුදු වෑන් රියදුරන් බව කියු දෙදෙනා ද අද යළි අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. https://www.facebook.com/NewsfirstSL/videos/1496806920495838/