පුරවැසි පනතට එරෙහි විරෝධතා උග්‍ර අතට

පුරවැසිභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව ඉන්දියාවේ විරෝධතා තවදුරටත්

by Staff writer 27-12-2019 | 9:26 PM

News 1st -  පුරවැසිභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව ඉන්දියාවේ පැවැත්වෙන විරෝධතා දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතී.

දිල්ලියේ ජුම්මා දේවස්ථානය ඉදිරිපිට අද විරෝධතා පැවැත්වුණු අතර දිල්ලියේ වයඹ දිග ප්‍රදේශයේ උද්ඝෝෂණ පැවැත්වීම මේ වනවිට තහනම් ය. අග්‍රාමාත්‍ය නිල නිවසට ඇතුළු වීමට උත්සාහ කළ, විරෝධතාකරුවන් වැළැක්වීමට ඉන්දීය පොලීසිය පියවර ගත්තේ ය. මේ අතර දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාමයාමට නියමිතව සිටින ඉන්දීය හමුදාපති ජනරල් පිබින් රාවට් උද්ඝෝෂණවලදී කළහකාරී ලෙස හැසිරෙන පිරිස් දැඩි දෙස විවේචනය කර තිබේ. ඔහු පවසා ඇත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වැරදි මාවතකට මෙහෙයවීමට කටයුතු නොකරන ලෙසයි. ශිෂ්‍යයන් මෙලෙස උද්ඝෝෂණ කිරීම නායකත්ව ලක්ෂණයක් නොවන බවත්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සාමකාමීව කටයුතු කරන ලෙස ඉල්ලා සිටීම දේශපාලන වශයෙන් වාසි සහගත කරුණක් නොවන බවත් ඔහු පවසා ඇතැයි සඳහන් වේ. මේ අතර ඒ.අයි.එම්.අයි.එම්. පක්ෂයේ නායකයා පවසා ඇත්තේ උද්ඝෝෂණ කිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇති බවයි. කිසියම් කළහකාරී යමක් සිදු වන්නේ නම්, ඒවා මර්දනය කිරීමට පොලීසියට හැකි බව පවසන ඔහු මේවාට හමුදාව ඇඟිලි ගසන්නේ ඇයි දැයි විමසා තිබේ. ඉන්දීය හමුදාපතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් එල්.රාමදාස් පවසා ඇත්තේ, හමුදා සේවයේ රැඳී සිටින නිලධාරියෙකු මෙවැනි දේශපාලන ප්‍රකාශ සිදු කිරීම වැරදි සහගත බවයි. ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් එම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට හමුදාව පියවර ගත යුතු බවත් ඔහු පෙන්වා දී තිබේ. ඉන්දීය පොදුඋඩමෙයි පක්ෂය සඳහන් කර ඇත්තේ ද, මෙවැනි ප්‍රකාශයක් කර ඇත්තේ වෙනත් කිසිවෙකු නොව ඉන්දීය හමුදාපතිවරයා බව ය. හමුදාවේ වගකීම දේශසීමා ආරක්ෂා කිරීම බවත්, දේශපාලන කටයුතු හමුදාවට අදාළ නොමැති බවත් එම පක්ෂය අවධාරණය කර තිබේ. මේ අතර ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව ඉන්දීය පුරවැසිභාවය ඉල්ලුම් නොකළ යුතු බවත්, ඔවුන් ලංකාවට නැවත හරවා එවා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකිය බවත් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ඉලගනේෂන් පවසා තිබේ.