CIDයෙන් රාජිතගේ නිවසට

CIDයෙන් රාජිතගේ නිවසට

by Staff writer 25-12-2019 | 5:25 PM

COLOMBO ( News 1st ) - අද දහවල් 1.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසට පැමිණ තිබේ.

මිනිත්තු 20 ක පමණ කාලයකට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉන් පිටව ගිය අතර, වාර්තාවන තොරතුරවලට අනුව රාජිත සේනාරත්න මහතා නිවසේ සිට නොමැත. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ පස්වරුවේ වරෙන්තු නියෝගයක් නිකුත් කිරීම අද දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ පස්වරුවේ අදාළ නියෝගය නිකුත් කළේ, නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. නොවැම්බර් මස 10 වන දින මාධ්‍ය හමුවක් පවත්වමින් සුදු වෑන් සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඇති චෝදනාව වේ. අදාළ නියෝගය නිකුත් කරන මොහොත වනවිට රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කොළඹ පිහිටි ඔහුගේ නිවසේ රැදී සිටි අතර ඊයේ රාත්‍රිය පුරා විපක්ෂයේ මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විවිධ පාර්ශව එහි පැමිණිය හ.