සෙබලෙකුට පහර දී ගිනිඅවිය පැහැර ගත් සැකකරු දැලේ

යුද හමුදා සෙබලෙකුට පහර දී ගිනිඅවිය පැහැර ගත් සැකකරු කොටු වෙයි

by Staff writer 25-12-2019 | 4:15 PM

COLOMBO ( News 1st ) - වව්නියාව, බෝගස්වැව යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු සෙබලෙකුට තුවාල සිදුකර රාජකාරී ගිනිඅවිය පැහැර ගෙන ගිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

බෝගස්වැව කඳවුරේ මුර කුටියේ රාත්‍රී සේවා මුරය නිම කර යළි කඳවුරට පැමිණෙමින් සිටි යුද හමුදා සෙබලෙකුට පහර දී ඇත්තේ අද අලුයම 4ත් 4.15ත් අතර කාලයේදී ය. පහරදුන් පුද්ගලයා සෙබලා සතුව තිබූ ටී 56 ගිනි අවිය හා මැගසින් 2ද රැගෙන පළා ගොස් තිබූ අතර, තුවාල ලැබූ සෙබලා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර යුද හමුදා රෝහලට මාරුකර යවා තිබුණි. ඒ, සමග යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත බුද්ධි අංශ සහ හමුදා පොලීසිය එක්ව පරීක්ෂණ ආරම්භ කළේ ය. සිද්ධියට සම්බන්ධ සැකකරු කැකිරාවේදී අද දහවල් අත්අඩංගුවට ගත්තේ ඒ අනුවයි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේ, පැහැර ගත් ටී 56 ගිනිඅවිය ද කැකිරාව ප්‍රදේශයේ පාළු නිවසක සඟවා තිබියදී සොයා ගත් බවයි. සැකකරු බෝගස්වැව යුද හමුදා කඳවුරේම සේවය කර පළා ගිය අයෙක් බව ද යුද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.