2019දී පාතාල සාමාජිකයින් 120 ක් අත්අඩංගුවට

පාතාල නායකයින් හා සැකකරුවන් 120 ක් මේ වසරේ අත්අඩංගුවට

by Staff writer 25-12-2019 | 12:16 PM

COLOMBO (News 1st) - වසරේ මේ දක්වා කාලය තුළ පාතාල නායකයින් හා ඔවුන්ගේ කණ්ඩායම්වලට සම්බන්ධ සැකකරුවන් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

එම බලකාය සඳහන් කළේ, දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ මෙහෙයුම් 84 කදී ඔවුන් සිය අත්අඩංගුවට පත් වූ බවය. අත්අඩංගුවට ගත් පාතාල නායකයින් අතර ඌරුජුවා, බැලේ සංඛ, අඟුලානේ රොහා, කුඩු රොෂාන්, සොක්කු සහ දෙමටගොඩ රුවන් අතුළු ප්‍රබලයින් වේ. මීට අමතරව මාකඳුරේ මදුෂ්, කංජිපානි ඉම්රාන් යන පාතාල නායකයින් ද ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරයට ගැණුනේ මේ වසරේදීයි. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර ප්‍රබල පාතාල කල්ලි නායකයින් වන අංගොඩ ලොක්කාගේ සහයකයින් 7 දෙනෙකු මෝදර සංඛ නැමැත්තාගේ සහයකයින් 4 දෙනෙකු සහ කිඹුල්ඇල්ලේ ගුනා නැමැත්තාගේ සහයකයින් 4 දෙනෙකු ද වේ. දෙමටගොඩ චමින්ද, මාකඳුරේ මදූෂ්, ගනේමුල්ලේ සංජීව, කංජිපානි ඉම්රාන් යන පාතාල අපරාධකරුවන්ගේ සහයකයින් ද අත්අඩංගුවට පත්වුවන් අතර සිටින බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ ය. සැකකරුවන් සතුව තිබී හෙරොයින්, හෑෂ්, කේරල ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය මෙන්ම පිස්තෝල වර්ගයේ ගිනිඅවි 5 ක් ඇතුළු ආයුධ රැසක් ද සොයා ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, විවිධ වර්ගයේ උණ්ඩ 3000 කට අධික සංඛ්‍යාවක් ද සිය භාරයට ගත් බවයි. මෙම මෙහෙයුම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරුණි.