ජනපති, අගමැති හා හිටපු ජනපතිගෙන් නත්තලට සුබ පැතුම්

"සියලු මිනිසුන්ට සමව සලකන සමාජයක් නිර්මාණය කිරීමට නත්තල් දිනයේදි අදිටන් කරගත යුතුයි" - ජනපති

by Staff writer 25-12-2019 | 8:26 AM

COLOMBO (News 1st) - නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සුබ පැතුම් එක්කර තිබේ.

යේසුස් වහන්සේ දේශනා කළ පරිදි සියලු මිනිසුන්ට සමව සලකන කුළුණු බර සමාජයක් නිර්මාණය කිරීමට මෙම නත්තල් දිනයේදී අප නැවත අදිටන් කර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ ය. නත්තල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිතුමා පවසන්නේ, උදා වූ නත්තල බියෙන් හා සැකෙන් තොරව සැමරීමට අවශ්‍ය පරිසරය රට තුළ ගොඩනැගී ඇති බවයි. එය කරුණාබර මිනිසුන්ගේ පැතුම් ඉටුවීමක් සේම දැඩි වේදනාවටත් කම්පනයටත් පත් සියලු හදවත්වලට සැනසුම් සුසුමක් එක් කරන්නක් බව ද ජනාධිපතිතුමාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් විය. නත්තල දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිතුණු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අන්තවාදී බලවේගවලට ඉඩ නොදී තමන්ගේ ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳින ලෙසයි. ආගම්වාදී ත්‍රස්තවාදය නැමති අඳුර දුරුකොට මාතෘ භූමියට ආරක්ෂාවත් සාමයත් නැවත ගෙන දීමට නව ආණ්ඩුව ඇප කැපවී සිටින බව ද සිය නත්තල් දින පණිවුඩයෙන් අග්‍රමාත්‍යවරයා අවධාරණය කරයි. මේ අතර නත්තල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, නත්තලේ සැබෑ පණිවුඩය වන්නේ සාමය සතුට හා දයාවෙන් පිරි මිනිසත්බව ලොව පුරා පැතිරවීම බවයි. එම සහජීවනයෙන් සහ සාමයෙන් පිරි සමාජය රට තුළ නිර්මාණය කිරිමට තම පස් වසරක ධුර කාලය තුළ සිදු කළ කැපවීම ද නත්තල් දින පණිවුඩයෙන් හිටපු ජනාධිපතිතුමා සිහිපත් කළේ ය.