by Hashini De Mel 24-12-2019 | 8:25 PM
COLOMBO ( News 1st ) - ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය මගින් ටෙලිකොම් සහ ලංකා විදුලිබල මණ්ඩලය පිළිබඳ සිය දැක්ම සෘණාත්මක දැක්මක් ලෙස සංශෝධනය කර තිබේ.
ලංකාවේ දිගුකාලීන විදේශ ණය පියවීම් හැකියාව අවදානම් තත්ත්වයටකට පත්ව ඇතැයි ෆිච් රේටිං ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පසුගියදා ප්‍රකාශයට පත් කළේ ය.
එම ආයතනය පෙන්වා දෙන්නේ, එහි ප්‍රතිඵලයක් ලෙස ටෙලිකොම් සහ ලංකා විදුලිබල මණ්ඩලය පිළිබඳව යළි සළකා බැලූ බව ය.
ලංකා විදුලිබල මණ්ඩලයේ මධ්‍ය කාලීනව මෙහෙයුම් ලාභ ඉපැයීමට නොහැකි බව ෆිච් ශ්‍රේණිගත කිරීම් පෙන්වා දෙයි.
මේ අතර උතුරු මැද පළාත් හිටපු මන්ත්‍රී, වසන්ත සමරසිංහ මහතා ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.
''අපේ රටේ ණය ගෙවීම පිළිබඳව තියෙන අර්බුදය අපිට බලපාපු ප්‍රධාන හේතුව තමයි බදු නිදහස් කිරීම නිසා රටට අපේක්ෂා කරපු බදු අදායම රටට අහිමි වෙනවා. අපේක්ෂා කරපු බදු ආදායම 23% ක් අහිමි වෙද්දී. අපේ ණය ගැනීමේ අවශ්‍යතාව වැඩි වෙනවා. දැන් තියෙන ප්‍රශ්නය අප රටක් හැටියට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ආර්ථික ස්ථාවරත්වයන් පිළිබඳව ශ්‍රේණිගත කිරිම්වල පහළට වැටිලා තියෙනවා. අපිට ණය දෙන ආයතන එතකොට අපිට ණයදීම සඳහා මැලිකමක් දක්වනවා. අපිට සිද්ධ වෙනවා. අත්‍යවශ්‍ය ණය ලබා ගැනීම් සිද්ද කරන්න. එතකොට මොකද්ද කරන්නේ වැඩි පොලියට අපිට ණය ගන්න වෙනවා. පොළි වාරික වැඩි වෙනවා. ඒ වැඩිවීම හරහා. නැවත අර ලබා දීපු බදු සහනය අපිට අහිමි වෙනවා.''