හිටපු අමාත්‍ය පාඨලී චම්පික ඇප මත මුදා හැරේ

by Staff writer 24-12-2019 | 10:28 AM

COLOMBO (News 1st): හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදාහැර තිබේ.

ඒ, ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හමුවට යළි ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. එහිදී පාඨලී චම්පික රණවක මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. එහිදී අධිකරණය නියෝග කළේ, ඔහුට සෑම මසකම අවසන් ඉරිදා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ය. එසේම පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස ද අධිකරණය පාඨලී චම්පික රණවක මහතාට දන්වා සිටියේය. බත්තරමුල්ලේ නිවසේ සිටියදී පසුගිය 18 වැනිදා පස්වරුවේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. 2016 පෙබරවාරි 28 වැනිදා රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක් සළකා බැලු නීතිපතිවරයා පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.