by Staff writer 24-12-2019 | 5:25 PM
COLOMBO ( News 1st ) - හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරෙකු වන දිලුම් තුසිත කුමාර මහතාගේ බිරිඳ අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා ය.
ඒ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් තමා, තම කුඩා දරුවා හා මව බලහත්කාරයෙන් ජිප් රථයකට නංවාගෙන බත්තරමුල්ල ප්‍රදේශයට රැගෙන ඒමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට නිගමනය කරන ලෙස ඉල්ලමින් ය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, පොලිස් පරීක්ෂක මෙත්තානන්ද, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැඩ බලන පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සහ නීතිපතිවරයා ය.
පසුගිය 15 වනදා රාත්‍රියේ තමන් පදිංචි ගාල්ල ඉමදූව ප්‍රදේශයේ නිවසට රාත්‍රී 9.30 පැමිණි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සිය සැමියා පිළිබඳව විමසා සිටි බව පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් දක්වා තිබේ.
එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තම සැමියා කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි බවට තමා පැවසූ විට ඔහු පදිචිව සිටින ස්ථානය පෙන්වන ලෙස දන්වමින් තමාවත්, සිය කුඩා දරුවා සහ මව බත්තරමුල්ල ප්‍රදේශයට රැගෙන පැමිණි බවයි.
එදින මුළු රාත්‍රියේම නිදි නොමැතිව ජිප් රථය තුළ ගත කිරීමට සිදු වූ බව පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් අධිකරණයට දැනුම් දී තිබේ.