අමෙරිකාවෙන් ගෝලීය සාමයට තර්ජනයක් වේවි ද ?

අමෙරිකාව අභ්‍යවකාශ හමුදා බලකායක් පිහිටුවීම ගෝලීය සාමයට සෘජු තර්ජනයක් - චීනය

by Staff writer 24-12-2019 | 9:35 AM

News 1 st - අමෙරිකාව අභ්‍යවකාශ හමුදා බලකායක් පිහිටුවීම ගෝලීය සාමයට සෘජු තර්ජනයක් වනු ඇතැයි චීනය අනතුරු අඟවයි.

චීනය මේ බව සඳහන් කළේ, ගෝලීය ස්ථාවරභාවය අවදානමට ලක්කෙරෙන මෙවැනි හමුදා බලකායක් පිහිටුවීමට අමෙරිකාව ගත් පියවර තරයේ හෙලා දකිමින් ය. චීනය පවසන්නේ, අමෙරිකාවේ මෙම පියවර අභ්‍යවකාශය ද හමුදාකරණය කිරීමේ අනතුරුදායක අවස්ථාවට පසුබිම සකස්කරන බවයි. අභ්‍යවකාශය යුද පිටියක් වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද චීනය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ය. මේ සම්බන්ධයෙන් චීනය දැඩි අවධානයෙන් සිටින බව ද චීන විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය. වාර්ෂික හමුදා අයවැයට අත්සන් තබමින් අමෙරිකානු අභ්‍යවකාශ හමුදා බලකායට ප්‍රථම මුදල් ආධාරය වෙන් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පියවර ගත්තේ ය. ඔහු සඳහන් කළේ, අභ්‍යවකාශය ලොව නවතම යුද පිටිය වන බැවින් අමෙරිකාවේ විශිෂ්ඨත්වය අභ්‍යවකාශය තුළ තහවුරු කිරීම අනිවාර්ය බවයි. මෙම අභ්‍යවකාශ හමුදා බලකාය පුද්ගලයන් 16,000 කින් සමන්විත වනු ඇතැයි අමෙරිකාව ප්‍රකාශ කළේ ය.