අනිද්දා සිට වැස්ස අඩුවන ලකුණු...

අනිද්දා සිට වැස්ස අඩුවන ලකුණු...

by Staff writer 23-12-2019 | 6:17 PM

COLOMBO (News 1st) - දිවයින පුරා පවතින වැසි තත්ත්වය අනිද්දා සිට තාවකාලිකව අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කයේත් අද රාත්‍රියේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. උතුරු පළාතෙත් පොළොන්නරුව සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 - 100 ත් අතර තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. මේ අතර අද පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයෙන් වාර්තා විය. එම අගය මිලිමීටර් 208 කි. අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 13 කට බලපෑම් එල්ලවී තිබේ. එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, මොණරාගල, මඩකලපුව, අම්පාර, මහනුවර, නුවරඑළිය, මාතලේ, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, අනුරාධපුරය සහ පොළොන්නරුවයි. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය 18 වැනි දා සිට අද දක්වා වාර්තාවී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 05 කි. පවුල් 19,095 ක පුද්ගලයින් 65,294 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් තවදුරටත් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පුද්ගලයින් 15,510 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 123 ක රඳවා ඇති බවයි. කුරුණෑගල, මී ඔයේ ජල මට්ටමේ වැඩිවීමක් දක්නට ඇතැයි ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යටවී ඇති බවයි. වාරි ජලාශ 36 ක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ ය. දිස්ත්‍රික්ක 2 කට අද පස්වරුවේ නාය යෑම් පිළිබඳ රතු නිවේදනය අද පස්වරුවේ යළි දීර්ඝ කෙරුණි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බවයි.