ෆිච් ශ්‍රේණිගත කිරීම රජය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම ඝෘණාත්මක ලෙස ෆිච් ශ්‍රේණිගත කිරීම රජය ප්‍රතික්ෂේප කරයි

by Staff writer 22-12-2019 | 12:52 PM

COLOMBO (News 1st) - ෆිච් රේටිං ආයතනය ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම ඝෘණාත්මක ලෙස සංශෝධනය කිරීම ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ, ෆිච් රේටිං ආයතනය මෑතකදී කළ ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ නව රජය පිහිටුවීමෙන් පසුව ආර්ථික කටයුතුවල කරන ලද ප්‍රතිසංස්කරණ පිළිබඳ යථාර්ථය වටහා නොගෙන කඩිමුඩියේ ගෙන ඇති තීරණයක් බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරන බවයි. මෙය කාලෝචිත නොවන ක්‍රියාවක් වන අතර ඉක්මන් විනිශ්චයක් ලෙස ද තහවුරු වන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි. රජය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද බදු ප්‍රතිසංස්කරණවල මූල්‍ය බලපෑම් පිළිබඳ ෆිච් ශ්‍රේණිගත ඇස්තමේන්තුව පදනම් වී ඇත්තේ වැරදි උපකල්පන මතයි. මෑත කාලීන බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල ආදායම් බලපෑම් අයවැය හිඟය වැඩි කිරීමට හේතුවන වන බවත් මධ්‍යම කාලීන රජයේ ණය ඉහළ යන බවත් ඔවුන් නිවැරදි නොවන ඇස්තමේන්තුවක් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. කෙසේ වෙතත් බදු අහිමිවියේ අලාභය පියවා ගැනීමට රජය ගනු ලබන ක්‍රියාමාර්ගවල බලපෑම සහ මධ්‍ය කාලීනව එවැනි ප්‍රතිපත්ති මගින් ඇතිවන්නා වූ වාසි දායක සාර්ව ආර්ථිකයේ හිතකර බලපෑම නිසි ලෙස හඳුනා නොගැනීම ෆිච් ශ්‍රේණිගත ක්‍රමයේ විශ්ලේශන පුරාවට දක්නට තිබූ අඩුපාඩුවක් බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි. රජය මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාමාර්ග මගින් බදු ක්‍රමය සරල කිරීම සහ ඇතැම් බදු අඩු කිරීම සහ අහෝසි කිරීම මගින් සමස්ත ඉල්ලුම වැඩිවනු ඇති. රජය මගින් ප්‍රකාශයට පත් කරන ලද බදු සහන කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ඉදිකිරීම් සහ වෙනත් සේවා අංශයවල ප්‍රගතියට ඉවහල් වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. එය ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධනය ඇති කිරීම සඳහා දායක වන අතර එමගින් 2020 වසරේදී 4% - 4.5% ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ නොකැලැල් වාර්තාව ආරක්ෂා කිරීම සඳහා ණය සේවාකරණ වගකීම ඉටු කිරීම සඳහා රජයේ ඉහළම ප්‍රමුඛතාව ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කර තිබේ. එකතු කළ අගය මත වැට් බදු ආදායමෙන් ලැබෙන 15% ක් පමණ වන ආදායම මූල්‍ය අංශයෙන් ලැබෙන අතර එහි වැට් බද්ද තවදුරටත් 15% ප්‍රතිශතයේම තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇති. සමස්ත වැට් බදු ආදායම 10% කට ආසන්න ආදායමක් අත්වන සිගරට් සහ මත්පැන්වලින් අහිමි වූ වැට් බද්ද සිගරට් සහ මත්පැන් සඳහා වන සුරාබද්ද ඉහළ නැංවීම තුළින් ආපසු අය කිරීමට දැනටමත් ක්‍රියා කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, එමගින් සිගරට් සහ මැත්පැන්වලින් ලැබෙන 10% ක් පමණ වැට් ආදායම තුළින් අහිමිවීමට තිබු 46 % ක් පමණ ආදායම නැවත ලබා‍ගෙන ඇති බවයි. වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද 7.5 % සිට 10 % දක්වා ඉහළ නැංවීම තුළින් ආනයනික කටයුතුවලින් ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමෙන් ආදායමට ඇති වූ බලපෑම ශූන්‍ය කෙරෙනු ඇති. උපයන විට බද්ද හෙවත් PAYE බද්ද ඉවත් කර ඇතත්, එහි ඉහළ සීමාව ආදායම් බද්ද ප්‍රතිෂ්ටාපනය කර ඇත. පොලි ආදායම මත වූ රඳවා ගැනීමේ බද්ද ඉවත් කළ ද එය කිසි විටකත් ආදායම් බද්දට එරෙහිව නියම කළ හැකි අවසාන බද්දක් ලෙස නොසැලකේ. මුදල් අමාත්‍යාංශය පවසන්නේ, බදු වර්ෂය අවසානයේ රඳවා ගැනීමේ බද්ද වෙනුවට ආදායම් බදු ගෙවිය යුතු බැවින් රඳවා ගැනීමේ බද්ද ඉවත් කිරීමේ අලාභය අහිමි වන බවයි. 2020 වසර සඳහා වන රජයේ අයවැය 2020 ජුනි මාසයේ පමණ ඉදිරිපත් කිරීමට නියමිත බැවින් 2020 දී විශාල ව්‍යාපෘති සඳහා වියදම් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොලැබෙනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.