රාජ්‍ය ආයතන 80 කට ප්‍රධානීන් පත් කිරීම...

රාජ්‍ය ආයතන 80 කට ප්‍රධානීන් පත් කිරීමේ නිර්දේශ ජනපති ලේකම් වෙත

by Staff writer 22-12-2019 | 1:13 PM

COLOMBO (News 1st) - රාජ්‍ය ආයතන 80 කට පමණ සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීමට අදාළ නිර්දේශ ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර තිබේ.

ඒ, රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා සුදුසකම් සහිත පුද්ගලයින් පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ සයපුද්ගල කමිටුව විසිනි. එහි සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේ, එක් තනතුරක් සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් තිදෙනෙකුගේ නම් යෝජනා කර ඇති බවයි. අදාළ තනතුරු සඳහා අයැදුම්පත් භාරගැනීම මේ වන විට අවසන් කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. ලබන 31 වැනි දාට පෙර සියලු රාජ්‍ය ආයතන සඳහා සුදුස්සන්ගේ නම් ඇතුළත් නිර්දේශ ලබාදෙන්නැයි ජනාධිපති ලේකම්වරයා කමිටුවට උපදෙස් දී තිබේ. කමිටුවේ සභාපති ධුරය දරන්නේ, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුමිත් අබේසිංහ මහතායි. සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයන් ගෝමස්, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයින් වේ.