දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 200 ක පමණ තද වැසි

by Staff writer 22-12-2019 | 7:24 AM

COLOMBO (News 1st) - අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රීකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 - 200 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර පවතින අධික වැසි හා නාය යෑම් හේතුවෙන් දිස්ත්‍රික්ක 13 කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. විවිධ ආපදා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 3 කි. පවුල් 7565 කට අයත් පුද්ගලයින් 26,492 දෙනෙකු ඉන් පීඩාවට පත් ව සිටි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පුද්ගලයින් 11,916 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 90 ක රඳවා ඇති බවයි. තද වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් බදුල්ල, මොණරාගල, මඩකලපුව, අම්පාර, මහනුවර, නුවරඑළිය, මාතලේ, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල වී තිබේ. ඒ හේතුවෙන් පූර්ණ හානි 47ක් ද ඇතුළුව නිවාස 1054කට හානි සිදුව ඇතැයි වාර්තා වේ. මේ අතර අධික වර්ෂාවත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 72 න් ජලාශ 43 ක් වාන් දමමින් පවති. එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළේ, ඒ අනුව ප්‍රධාන ජලාශවල ජල මට්ටම 84% ක ප්‍රතිශතයක පවතින බවයි. ඉගිනිමිටිය, තබ්බෝව, රාජාංගනය, නුවරවැව, මහකනදරාව, නාච්චදූව, දැදුරුඔය, ලුණුගම්වෙහෙර, පරාක්‍රම සමුද්‍රය යන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ. ඊට අමතරව යාන් ඔය, අංගමුව, වෙහෙරගල, රඹකැන්ඔය, මහදිවුල්වැව, උන්නිච්චි, වෑමැඩිල්ල, සොරබොර ඇතුළු තව ත් ජලාශ රැසක් වාන් දමමින් පවතින බව ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළා ය. ඇය පැවසුවේ, පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳව විමසිලිමත් විය යුතු බවයි. මේ අතර දැදුරුඔයේ පුත්තලම ප්‍රදේශයේ සෙන්ගල් ඔයේ ජල පාලන දොරටුව කැඩීයාමෙන් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ජනතාවට බලපෑම් එල්ල වී ඇත. අධික වැසි සමග දිස්ත්‍රික්ක 6 කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරුව දක්වා ක්‍රියාත්මක වේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.