දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ රතු නිවේදනයක්

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි: නායයාමේ රතු නිවේදනයකුත් නිකුත් කෙරේ

by Staff writer 22-12-2019 | 6:53 PM

COLOMBO ( News 1st ) - අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය සහ වව්නියාව දිස්ත්‍රික්කවලට ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර පවතින අධික වැසි හා නායයාම් හේතුවෙන් දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පවුල් 14,963 කට අයත් පුද්ගලයින් 51,146 ක් මේ වනවිට පිඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පුද්ගලයින් 16,385 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 126 ක රඳවා ඇති බවයි. තද වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් ,බදුල්ල, මොණරාගල, මඩකලපුව, අම්පාර, මහනුවර, නුවරඑළිය, මාතලේ , හම්බන්තොට, කුරුණැගල , පුත්තලම, කෑගල්ල , අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල වී තිබේ. පවතින වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ 43 රැසක් වාන් දමන බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය. මේ අතර අධික වැසි සමග දිස්ත්‍රික්ක 6 කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය යළි දිර්ඝ කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි. ඊට අමතරව රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ. මේ අතර මී ඔය ගල්ගමුව ප්‍රදේශයෙන් අවදානම් මට්ටමේ පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ, පිළිබඳ විමසිලිමත් වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. දැදුරු ඔය, මැණික් ගඟ සහ මහවැලි ගඟේ ජල මට්ටම මේ වනවිට සාමාන්‍ය අගයක පවතී. එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර - ලුණුගල මාර්ගයේ 161 සහ 162 සැතපුම් කණු අතර හොප්ටන් ප්‍රදේශයේ තාවකාලිකව වසා දමා තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදය කුමාර මහතා සඳහන් කළේ, එම ප්‍රදේශයේ දැඩි නායයාමේ අවදානමකට ලක්ව ඇති බවයි. මේ අතර දුම්රිය මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් අද රාත්‍රියේ කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි ගමනාගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, අද පස්වරුවේ කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනයවීමට නියමිතව තිබූ මීනගයා දුම්රිය ද අවලංගු කළ බවයි. ඒ, අනුව අද පෙරවරුවේ සිට මඩකලපුව, පොලොන්නරුව සහ ත්‍රීකුණාමලය බලා ධාවනයවීමට නියමිතව තිබූ දුම්රිය 06 ක් ද අවලංගු කළ බව ඔහු පැවසුවේ ය.