උත්සව සමයේ ගම්බිම් බලා යන්න අමතර ප්‍රවාහන සේවාවක්

ලංගම රියැදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කෙරේ

by Staff writer 21-12-2019 | 10:32 AM

COLOMBO ( News 1st ) - සියලුම ලංගම බස් රථ රියැදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේ, නත්තල් හා උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැළසීම වෙනුවෙන් එම පියවර ගත් බවයි. ඒ, අනුව ලබන 26 වැනිදා සිට ජනවාරි පළමු වැනිදා දක්වා ලංගම බස් රථ සේවකයින්ගේ නිවාඩු අවලංගු වනු ඇති. අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ, නත්තල් හා උත්සව සමයේ කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා ලංගම, දුම්රිය සහ අධිවේගී මාර්ගවල ප්‍රවාහන සේවා ශක්තිමත් කරන ලෙසයි. ඒ, අනුව කොළඹ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම අමතර බස් රථ 30ත් 100ත් අතර සංඛ්‍යාවක් යෙදවීමට ද පියවර ගෙන තිබේ. විශේෂයෙන් හැටන්, බදුල්ල , නුවරඑළිය, වවුනියාව සහ යාපනය දක්වා එම අමතර බස් ධාවනය කෙරෙනු ඇති. අධිවේගී මාර්ගයේ මාකුඹුර , කොට්ටාව , කඩවත , කඩුවෙල , මාතර , ගාල්ල , මීගමුවට උපරිම බස් රථ සේවාවක් යෙදවීමට පියවර ගෙන ඇතැයි ද මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පැවසුවේ ය. අනිද්දා සිට කොළඹ - මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී දුම්රියක්ද , 24, 27 හා 29 යන දිනවල බදුල්ල සිට කොළඹ දක්වාත්, කොළඹ සිට බදුල්ල දක්වාත් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට නියමිත ය. අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දුම්රිය මාර්ග අවහිරවිය හැකි බැවින් ඒ සඳහා අමතර බස් රථ යෙදවීමට ද පියවර ගෙන තිබේ. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පැවසුවේ , මගී ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බවයි. මේ අතර අනිද්දා සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මීගමුව දක්වාත්, ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස් රථවල ගාස්තු අඩු කර තිබේ.