පවතින වැසි තත්ත්වය හෙට සිට වැඩි වන ලකුණු

පවතින වැසි තත්ත්වය හෙට සිට වැඩි වන ලකුණු

by Staff writer 21-12-2019 | 2:46 PM
COLOMBO (News 1st) : උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්ත්වය හෙට සිට වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම පළාත්වල සහ මුලතිව්, කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර ඉතා තද වැසි ඇති විය හැකි බවයි. සබරගමුව සහ බස්නාහිර පළාත් වලත් හම්බන්තොට, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ත් 100 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි වේ. මේ අතර අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 දිවයිනේ වැඩිම වර්ෂාපතනය පොළොන්නරුව බකමූන ප්‍රදේශයෙන් වාර්තා වේ. එම අගය මිලිමීටර් 228 කි. බෝවතැන්න ප්‍රදේශයෙන් වාර්තා වන වර්ෂාපතන අගය මිලිමීටර් 199.4 ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ දෙතැනගලට මිලිමීටර් 144.8 ක් , මොනරාගලට මිලිමීටර් 126.3 ක් සහ මාතලේට මිලිමීටර් 122 ක වර්ෂාපතනක් ලැබී තිබේ.