අයහපත් කාලගුණයෙන් දෙදෙනෙකු මරුට

අයහපත් කාලගුණයෙන් දෙදෙනෙකු මරුට: නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත්

by Staff writer 21-12-2019 | 7:42 AM

COLOMBO ( News 1st ) - දිවයිනේ දිස්ත්‍රික්ක 12 කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පීඩාවට පත් පුද්ගලයින් 3000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන 37 ක රඳවා ඇති බවයි. අධික වැසි සමග පස්කදු සහ ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග කිහිපයකම රථ වාහන ධාවනයට බාධා මතුව ඇතැයි ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ ය. එමෙන්ම ප්‍රධාන ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය. පවතින අධික වර්ෂාවත් සමග වාරිමාර්ග ජලාශ 40 ක් වාන් දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළේ, තබ්බෝව ජලාශය පහළ ජනතාවට ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි දැනුම් දී ඇති බව ය. මේ අතර අධික වැසි සමග දිස්ත්‍රික් 06 කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, මාතලේ,මහනුවර , නුවරඑළිය ,බදුල්ල , මොණරාගල හා රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බවයි. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වි ඇතැයි අප වාර්තාකරුවන් සඳහන් කළේ ය. නැගෙනහිර , ඌව , මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් මුලතිව් , කිලිනොච්චි , වව්නියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 100 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.