පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි

Weather Alert : පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි

by Staff writer 20-12-2019 | 10:51 AM
COLOMBO (News 1st) : බස්නාහිර , සබරගමුව, මධ්‍යම පළාත්වලට සහ ගාල්ල දිස්ත්‍රික්කයට අද මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර නැගෙනහිර, ඌව සහ වයඹ පළාත් වලත් මාතර දිස්ත්‍රික්කයේත් අද මිලිමීටර් 75 ත් 100 ත් අතර තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ප්‍රදේශ ගණනාවක පවතින අධික වර්ෂාවත් සමග මාර්ග ඇතුළු පහත් බිම් ගණනාවක් ජලයෙන් යටව ඇතැයි අප වාර්තාකරුවෝ පැවසූහ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, ජලයෙන් යට වීම හේතුවෙන් සුංගාවිල - පොළොන්නරුව මාර්ගය තාවකාලිකව වසා දැමූ බවයි. දියතලාව සහ බණ්ඩාරවෙල අතර පස් කඳුකඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා මතුව තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අද අලුයම මෙම පස්කඳු කඩා වැටී ඇති බවයි. ඒවා ඉවත් කර අවසන් කරන තෙක් , කොළඹ කොටුවේ සිට දුම්රිය ධාවනය දියතලාවට සීමා කරන බව ඔහු පැවසී ය. මේ අතර මාතලේ කුරුණෑගල ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින් පස්කදු හා ගස් කඩා වැටීම හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා මතුව තිබෙනවා. මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, කඩිනමින් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි. මේ අතර , මහනුවර උඩුදුම්බර මී මුරේ ප්‍රධාන මාර්ගයට ද පස්කඳු කඩා වැටීම හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා මතුව තිබේ. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, විකල්ප මාර්ග ලෙස උඩුදුම්බර තෝරපිටිය මාර්ගය භාවිත කළ හැකි බවයි. නායයෑමේ අවදානමක් හේතුවෙන් උඩුදුම්බර ප්‍රදේශයේ පවුල් 15 ක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබේ.