රාජිතගේ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කෙරේ

සුදු වෑන් මාධ්‍ය හමුව: රාජිතගේ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කෙරේ

by Staff writer 20-12-2019 | 4:01 PM

COLOMBO ( News 1st ) - සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයැදුම්පත අද ප්‍රතික්ෂේප කළේ ය.

එම අපේක්ෂිත ඇප අයැදුම්පත අද කැඳවනු ලැබුවේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේදී ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන මත ඇප දිය නොහැකි වැරදි සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමට සුදානමක් පවතින බව රාජිත සේනාරත්න මහතා පෙත්සමක් මගින් අධිකරණයට පෙන්වා දී තිබේ. එම අපේක්ෂිත ඇප අයැදුම්පතේ වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීම ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළා ය. ඒ, එම පෙත්සම තවදුරටත් පවත්වා ගෙන යෑමේ නීතිමය පදනමක් නොමැති බව පවසමින් ය. පෙත්සම්කරු ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයැදුම්පත හා දිවුරුම් ප්‍රකාශ මගින් ඔහු අත්අඩංගුවට ගැනීමට සුදානම් වන වැරදි කුමක්ද යන්න නිශ්චිතව සඳහන් කර නොමැති බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නා ය. මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් පැවසුවේ, ඇප පනතේ 21 වන වගන්තිය අනුව අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කළ විට එම ඉල්ලීම කරනු ලබන තැනැත්තා අපේක්ෂිත ඇප මත මුදා හරින්නේ කුමන වැරදි සම්බන්ධයෙන්ද යන වග නිශ්චිතව සඳහන් කළ යුතු බවයි.