ස්විස් නිලධාරිනිය:විදේශ අමාත්‍යවරු අදහස් හුවමාරුවක

ස්විස් නිලධාරිනිය ගැන දෙරටේ විදේශ අමාත්‍යවරු අදහස් හුවමාරුවක

by Staff writer 19-12-2019 | 5:53 PM
COLOMBO ( News 1st )  -  ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය රක්ෂිත බන්ධානාගාරගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට විදේශ අමාත්‍ය ඉග්නාසියෝ කාස්සිස් මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර අදහස් හුවමාරු වී තිබේ. විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඒ පිළිබඳව අදහස් හුවමාරු කරගත් බවයි. දෙරට අතර සතුටුදායක මට්ටමින් පවත්නා සබඳතා සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ලබාදිය හැකි සියලු සහාය ලබාදෙන ලෙස ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. ෆ්‍රැන්සිස් මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම හා එම සිද්ධිය අධිකරණයේ විභාග වෙමින් පැවතීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට බල පැවැත්වෙන නීතියට අනුකූලව ලක් රජයට මේ සම්බන්ධයෙන් කළ හැකි සියල්ලක්ම සිදුකරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළ බව අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් ය. ඇයගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට ද විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.