නවදිල්ලියේ ආරක්ෂාව තර කරයි

ඉන්දීය පුරවැසි පනතට එරෙහි විරෝධතා නිසා නවදිල්ලියේ ආරක්ෂාව තර කරයි

by Chathuranga Rajapaksha 19-12-2019 | 10:31 PM

COLOMBO ( News 1st ) - මතභේදාත්මක ඉන්දීය පුරවැසි පනතට එරෙහි විරෝධතා හේතුවෙන් එරට අගනුවර වන නවදිල්ලියේ ආරක්ෂාව තරකර තිබේ.

මේ අනුව නවදිල්ලියේ රතු බලකොටුව ආශ්‍රිත ප්‍රදේශයේ 144 වන තහනම් නියෝගය මේ වනවිට බලගන්වා තිබේ. අදාළ නියෝගයට අනුව 4දෙනෙකුට වඩා ඒකරාශී වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ බලය ආරක්ෂක අංශවලට හිමිව ඇත. අනෙකුත් ප්‍රාන්තවල සිට විරෝධතාකරුවන් අගනුවර තුළට පිවිසීම වැළැක්වීම සඳහා නවදිල්ලියේ මායිම් ප්‍රදේශවල විශේෂ නිරීක්ෂණ සැළසුමක් ක්‍රියාත්මක කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර අද රතුබලකොටුව ආශ්‍රිතව විරෝධතාවල නිරත විශාල පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම නියෝග නොතකා කටයුතු කිරීම හේතුවෙන් ය. විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා නවදිල්ලියේ සන්නිවේදන පහසුකම් සහ අන්තර්ජාල අවහිර කර තිබේ. අගනුවර පිහිටි මෙට්‍රෝ දුම්රිය ස්ථාන 15ක්ද මේ වනවිට ආරක්ෂක හේතුන් මත වසා දමා ඇතැයි සඳහන් වේ. මේ අතර දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද කේජ්රිවාල් පවසා ඇත්තේ, නීතිය හා සාමය පිළිබඳව රට තුළ භීතියක් ඇති වී තිබෙන බවයි. කර්ණාටක ප්‍රාන්තයේද අඛණ්ඩ විරෝධතා හේතුවෙන් මේ වනවිට 144 වන තහනම් නියෝගය බල ගන්වා තිබේ. ගුල්පර්හා ප්‍රදේශයේ නව පනතට එරෙහිව උද්ඝෝෂණයක නිරත කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. බැංගලෝර්, මයිසුර් වැනි ප්‍රදේශවල විරෝධතාවන්හි නිරත වූ වාමාංශික පක්ෂ ක්‍රියාකාරීන්ද අත්අඩංගුවට ගත් පිරිස් අතර සිටී. නව පුරවැසි පනතට එරෙහිව තමිල්නාඩු ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවල තවදුරටත් විරෝධතා ක්‍රියාත්මක වේ. චෙන්නයි විශ්වවිද්‍යාලයේ සිසුන් ක්‍රියාත්මක කර තිබූ අඛණ්ඩ විරෝධතාව ඊයේ රාත්‍රියේ අවසන් කෙරිණි. මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ දිල්ලියේ ජාමියා මිලියා විශ්වවිද්‍යාලයේ සිසුන්ට එල්ල වූ පහරදීමට එරෙහිව ය. මෙම විරෝධතාව අවසානයේදී සිසුන් 17 දෙනෙකු තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පාණ්ඩිච්චේරි මධ්‍යම විශ්වවිද්‍යාලයේ සිසුන් මිනිස් දම්වැලක් ලෙස එක්වී නව පනතට සිය විරෝධතාව පළ කළේ ය. කෝයම්පත්තූර් ප්‍රදේශයේ සිසුන් ද අද විරෝධතාවල නිරතවූයේ නව පුරවැසි පනතට විරුද්ධවයි. මේ අතර ජම්බු කාශ්මීර්, උත්තර් ප්‍රදේශ්, කේරළ ප්‍රාන්තවල ද අද නව පනතට එරෙහිව විරෝධතා දක්නට ලැබිණි.