ජනපති ට්‍රම්ට එරෙහි දෝශාභියෝග ජන්ද විමසීම අද

ජනපති ට්‍රම්ට එරෙහි දෝශාභියෝග ජන්ද විමසීම අද

by Staff writer 18-12-2019 | 8:59 PM

News 1st - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ට එරෙහි දෝශාභියෝගයේ ජන්ද විමසීම අද පැවැත්වීමට නියමිත බව එරට කතානායක නැන්සි පොලෝසි පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොංග්‍රස් මණ්ලයේ නීති කමිටුව පසුගියදා අනුමත කරන ලද කරුණු මත පදනම්ව මෙම ජන්ද විමසීම පැවැත්වෙන බවයි. මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට අදාළව ඉදිරිපත්ව ඇති දෝශාභියෝගයට අදාළව එරට කොංග්‍රස් මණ්ඩල කතානායක නැන්සි පොලෝසි වෙත පිටු 6කින් යුත් ලිපියක් යොමු කර තිබේ. එමගින් අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මෙම දෝශාභියෝගය අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි විවෘත යුද්ධයක් බවයි. දෝශාභියෝගයක වටිනාකම එමගින් විනාශ කර ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද පැවැත්වීමට නියමිත ජන්ද විමසීමේ ප්‍රතිඵලයට යම් බලපෑමක් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ලිපිය යොමු කර ඇති බවයි. දෝශාභියෝගයේ මුලික අවස්ථාවේ සිටම ජනාධිපතිවරයා ලෙස තමන්ට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබූ අයිතිවාසිකම් නිසි පරිදි හිමි නොවූ බවටත් අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කර තිබේ. දෝෂාභියෝග විමර්ශනයට සහයෝගය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම, කොංග්‍රසයට බාධා කිරීම, කාර්ය මණ්ඩලයට සාක්ෂි දීම තහනම් කිරීම, ලේඛන සාක්ෂි රඳවා ගැනීම සහ තම දේශපාලන ප්‍රතිවාදියකු වන හිටපු උප ජනපති ජෝ බයිඩන්ට එරෙහි විමර්ශනය කිරීම සඳහා යුක්‍රේනයට බලපෑම් කිරීම ඔහුට එරෙහිව එල්ල වන ප්‍රධාන චෝදනා බව සඳහන් ය. මෙම දෝශාභියෝගය සම්මත වුවහොත් අමෙරිකානු ඉතිහාසයේ දෝෂාභියෝගයට ලක් වූ 3වන ජනාධිපතිවරයා බවට ඔහු පත් වනු ඇති.