මැතිවරණ නීති කිහිපයක් සංශෝධනයට එකඟතාව

ඡන්දයේදී තැන්පත් කරන ඇප මුදල වැඩි කිරීම ඇතුළු නීති කිහිපයක් සංශෝධනයට එකඟතාව

by Staff writer 18-12-2019 | 7:00 AM

COLOMBO (News 1st) - මැතිවරණ සඳහා තැන්පත් කරන ඇප මුදල වැඩි කිරීම, ප්‍රචාරක වියදම් පාලනය ඇතුළු මැතිවරණවලට අදාළ නීති කිහිපයක් කඩිනමින් සංශෝධනයට එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් අතර ඊයේ පැවති සාකච්ඡාවකදීයි. එම සාකච්ඡාවට නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද එක් වූ බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. මෙම සාකච්ඡාවේදී සෞඛ්‍ය, වරාය හා ගුවන්තොටුපොළ වැනි අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන පුද්ගලයින්ට මැතිවරණයේදී තැපැල් ඡන්දය භාවිතයට හැකියාව ලැබෙන පරිදි නීති සංශෝධනයට ද එකඟතාව ලැබුණු බව ජාතික මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. සාකච්ඡාවේදී දැනට කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙන පරිදි නීති සංශෝධනයේ වැදගත්කමද අවධානයට ලක් කෙරුණි. ඒ අනුව පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ නීති සම්මත කර ගැනීමට ද එකඟ වූ බව සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය. අදාළ සංශෝධන මසක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි පරිදි නීති සකස් කිරීමට නියමිතයි.