කුරුණෑගල රෝහලේ තැලිසීමියා එන්නත් හිඟයක්

තැලිසීමියා රෝගයට ලබාදෙන එන්නත් හිඟයක් නිසා රෝගීන්ගේ ජීවිත අවධානමක

by Staff writer 17-12-2019 | 10:40 PM

COLOMBO ( News 1st ) - තැලිසීමියා රෝගය සඳහා ලබා දෙන එන්නත් හිඟයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජාතික තැලසීමියා මධ්‍යස්ථානයට පැමිණෙන රෝගීන්ගේ ජීවිත අවධානමකට ලක්ව තිබේ.

මෙරට ප්‍රධානතම තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානය කුරුණෑගල පිහිටුවා ඇත්තේ වැඩිම රෝගීන් ව්‍යාප්තියක් වයඹ පළාතේ පැවතීම හේතුවෙනි. දිවයිනේ නන්දෙසින් පැමිණෙන රෝගීන් 1000කට අධික පිරිසක් අද වනවිටත් මේ මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබමින් සිටී. ඉන් බහුතරයක් දිළිඳු පවුල්වල දරුවන් ය. නමුත් මෙම රෝගීන්ට මාසිකව ලබාදිය යුතු අත්‍යවශ්‍ය එන්නතක් වන 'ඩෙක්ස් ෆොරොස්සිස්' එන්නත මාස එක හමාරකට අධික කාලයක සිට මොවුන්ට ලැබී නැත. ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය දයානන්ද බණ්ඩාර මහතා මේ ඖෂධය නැති වුණොත් වෙන්නේ, මොළයට හෘද වස්තුවට අක්මාවට බලපාලා එයින් සංකූලතා ගොඩක් එන්න පුළුවන්. හදිසියේ වුණත් මිය යන්න පුළුවන්. එම නිසා මේ ඖෂධය ලබාදීම අත්‍යවශ්‍ය දෙයක් රුධිරය ලබා දෙනවා වගේම. අපේ මධ්‍යස්ථානයයට සාමාන්‍යයෙන් මේ එන්නත් 5000ක් විතර ඕනෑ. අපේ රෝගීන්ට ලබාදීම සඳහා අපේ මධ්‍යස්ථානයේ කිසිම එන්නතක් නෑ. මේ ප්‍රශ්නය මීට අවුරුදු කිහිපයකට කලිනුත් වුණා. ඒ අවස්ථාවෙදිත් ළමයි කිහිප දෙනෙක් අපේ අතරින් වියෝ වුණා. මම බලාපොරොත්තු වෙනවා මේ ඖෂධය ඉතා ඉක්මණින් ගෙන්නලා අපගේ රෝගීන්ට ඒ ප්‍රතිකාරය නිසා ආකාරයෙන් ලබා දෙන්න හැකි වේවා කියලා. ජීවිතය අයදින මේ දරුවන්ට අවශ්‍ය ඖෂධ කඩිනමින් සැපයීම බලධාරින්ගේ වගකීම හා යුතුකම නොවේද?