සජිත් පාක්ෂිකයින් හමුවීමට ගමින් ගමට යයි

"ජනාධිපතිවරණ පසුබෑමේ වගකීම සහ වගවීම මම භාර ගන්නවා" - සජිත් ප්‍රේමදාස

by Staff writer 17-12-2019 | 9:27 PM

COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කළ ජනතාවට ස්තූති කිරීමේ ජන හමු මාලාවක් අද ආරම්භ විය.

එහි පළමු ජන හමුව පැවැත්වුණේ කොලොන්නාවේදී ය. උණුසුම් ජනතා පිළිගැනීමක් සමග පැවති මෙම ජන හමුව සංවිධානය කර තිබුණේ, කොලොන්නාව ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසිනි. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් ද මේ ජන හමුවට එක්ව සිටිය හ. ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජය වීමට හේතු 08ක් එහිදී එස්.එම්. මරික්කාර් මහතා විසින් පෙන්වා දෙනු ලැබිණි. 01 - හොරු ඇල්ලුවේ නෑ. මහා බැංකුව කැඩුවා. 02- UNP කාරයන්ට අපේ නායකයො රස්සා දුන්නේ නෑ. අපි ඒවා කිව්වම අහක බලන් හිටියා. 03 - මහ සංඝරත්නයට නිගා කරපු එක. 04 - අපි කරපු වැඩ අලෙවි කළේ නෑ. ඒක කිව්වම කිව්වේ මම මාධ්‍ය දන්නවා කියලා. 05 - ප්‍රතිවාදී අපේක්ෂකයා අවුරුදු 02ක ඉදන් ලැස්ති වුණා. අපේ අපේක්ෂකයා මාසෙන් ගත්තේ ලක්ෂ 56ක් 06 - තැපැල් ඡන්දෙට කලිනුත් තව කතාවක් කිව්වානේ. 07 - මිලේනියම් චැලේන්ජ් එක ජන්දේ වෙලාවේ ගෙනාපු එක 08 - සල්ලි හොයලා දුන්නේ නෑ. අද අපේ නායකයා ලක්ෂ 2,600 ක් ණයයි. මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණයේදී පසුබෑම පිළිබඳව වගකීම හා වගවීම තමන් භාර ගන්නා බවයි.