වන අලි ප්‍රහාරයෙන් මියගිය නිලධාරියා වෙනුවෙන් වන්දි

වන අලි ප්‍රහාරයෙන් මියගිය නිලධාරියා වෙනුවෙන් වන්දි ලබාදීමට පියවර

by Staff writer 16-12-2019 | 7:30 AM
COLOMBO (News 1st) : මාතලේ ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් මියගිය වනජීවි නිළධාරියා වෙනුවෙන් වන්දි ලබාදීමට පියවර ගන්නා බව වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි. මාතලේ රජ්ජම්මන වනජීවී කලාපය තුළ ඊයේ ක්‍රියාත්මක කළ වන අලි පලවා හැරිමේ මෙහෙයුමක් අතරතුරකදී වනඅලියෙකු පහරදීමෙන් ඊයේ මියගියේ එම්. වික්‍රමසිංහ නමැති වනජීවී අඩවි සහකාර නිලධාරියෙකි. 45 හැවිදි අදාළ නිලධාරියා රත්තොට, කුඹල්ඔලුව, ලෝලුවල ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙකි. උතුරු මාතලේ නව ජනපදය ප්‍රදේශයේ කවුඩුපැලැල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් , නොම්මර 04 වත්ත ප්‍රදේශයේ සැරිසරන වන අලින් තුන්දෙනෙකු පළවා හැරීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණ. වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ, එම නිලධාරියාගේ යැපෙන්නන් වෙනුවෙන් ඉහළම වන්දි මුදලක් ගෙවීමට අපේක්ෂා කරන බවයි. සංඛ්‍යා ලේඛනවලට අනුව 2018 වසර තුළදී වනඅලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 95 දෙනෙකු මිය ගොස් ඇති අතර මේ වසරේ මේ දක්වා කාලය තුළ මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 115 කි. ඒ අනුව 2018 ජනවාරි පළමුවැනිදා සිට මේ දක්වා වන අලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 210 කුට ජීවිත අහිමි වී තිබේ. 2019 වසරේ මේ දක්වා කාලය තුළ මියගොස් ඇති වන අලි සංඛයාව 319 කි.