පුරවැසි පනතට එරෙහි විරෝධතා අතරතුර 6ක් ජීවිතක්ෂයට

පුරවැසි පනතට එරෙහි විරෝධතා අතරතුර මියගිය ගණන 6ක් දක්වා ඉහළට

by Staff writer 16-12-2019 | 7:12 AM
COLOMBO (News 1st) : ඉන්දියාවේ පුරවැසිභාවය පිළිබඳ ආන්දෝලනාත්මක පනතට එරෙහිව ක්‍රියාත්මක විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් තුවාල ලබා ඇති සංඛ්‍යාව දහසකට අධික වේ. ප්‍රාන්ත කිහිපය පැවති විරෝධතා මේ වනවිට, ඉන්දියාවේ අගනුවර වූ නවදිල්ලිය දක්වා ද ව්‍යාප්ත වී තිබේ. විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක කළ විරෝධතා හේතුවෙන් නවදිල්ලි අගනුවර අන්තර්ජාල සබඳතා ද මේ වන විට අවහිර කර තිබේ. පුරවැසිභාවය පිළිබඳ ආන්දෝලනාත්මක පනතට එරෙහිව නවදිල්ලි නුවර සරසවි සිසුන් ඊයේ ආරම්භ කළ විරෝධතාවයේදී 100කට අධික පිරිසක් තුවාල ලබා ඇත්තේ පොලීසිය සමග ඇති කරගත් ගැටුම් වලදීයී. මේ හේතුවෙන් නවදිල්ලි නුවර පාසල් වසා දමා, විශ්වවිද්‍යාලවලට ද නිවාඩු දී තිබේ. ඇසෑම්, බටහිර බෙංගාලය ඇතුළු ප්‍රාන්ත කිහිපයක ක්‍රියාත්මක විරෝධතා අතරතුර අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව දහසකට අධිකයි. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසීය අවස්ථා කිහිපයකදී රබර් උණ්ඩ මෙන් ම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ ද, මෙතෙක් එය පාලනය කර නොමැත. නව පනත යටතේ පාකිස්තාන, ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශ යන රටවල මුස්ලිම් නොවන සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය හිමිවනු ඇති. අදාළ පනත සංශෝධනය කෙරුණේ හින්දු, කිතුනු, සීක්, ජෛන, බෞද්ධ හා පර්සියන් යන ප්‍රජාවන් හයකට ඉන්දියානු පුරවැසිභාවය ලබා දීමේ අරමුණෙනි.