නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

by Staff writer 16-12-2019 | 7:20 AM
COLOMBO (News 1st) : නවසීලන්ත කණ්යමට එරෙහි තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණූ 296 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව මේ වන විට තරග 1 ට 0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාවයි. තරගය ඔස්ට්‍රේලියාවේ පර්ත්හීදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්විණ. තරගයේ සිව්වන දිනය වූ ඊයේ දිනයේ දී තරගය ජය ගැනීම සඳහා ලකුණු 468ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට සිය දෙවන ඉනිමේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 171ක් පමණි. බී.ජේ. වොට්ලින් ලකුණු 40ක් සහ කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 33ක් ලබා ගත්හ. පන්දු යැවීමේ දී මිචෙල් ස්ටාක් සහ නේතන් ලයන් කඩුලු 4 බැගින් බිඳ හෙළී ය. ඊයේ දිනය ආරම්භ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී රැස් කරගෙන සිටි ලකුණූ සංඛයාව 167කි. කෙසේ වෙතත්, ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණූ 217ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ය. ජෝ බර්න්ස් ලකුණූ 53ක් සහ මානස් ලබුෂේන් ලකුණු 50ක් රැස් කළේ ය. පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 5ක් බිඳ හෙළී ය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණූ සංඛ්‍යාව 416කි. මානස් ලබුෂේන් ලකුණු 143යි. පන්දු යැවීමේ දී නීල් වැග්නර් හා ටිම් සවුති කඩුලු 4 බැගින් බිඳ හෙළූහ. අනතුරුව නවසීලන්තයට සිය පළමු ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166ක් පමණි. රෝස් ටේලර් ලකුණු 80යි. පන්දු යැවීමේ දී මිචෙල් ස්ටාක් කඩුලු 5ක් දවා ගත්තේ ය. මිචෙල් ස්ටාක් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබී ය. දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ලබන 26 වනදා, එනම් බොක්සිං දිනයේ දී ආරම්භ වීමට නියමිතයි.